2022 නොවැම්බර් 06 වන ඉරිදා

නෙතන්යාහු නැවතත් ඊශ්‍රායල මහ පුටුවට!

 2022 නොවැම්බර් 06 වන ඉරිදා, පෙ.ව. 06:00 82

මූලික මැතිවරණ ඡන්ද විමසීම්වලින් හිටපු ඊශ්‍රායල නායක බෙන්ජමින් නෙතන්යාහු හට නැවතත් සුළු බහුතරයක් හිමිවිය හැකි බවට සනාථ වී තිබේ.

නෙතන්යාහු සහ ඔහුගේ දේශපාලන සහචරයන් ඊශ්‍රායලයේ පාර්ලිමේන්තුව වන නෙසෙට් හි පටු බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගැනීමට සමත්ව සිටින බව මාධ්‍ය මත විමසුම් මගින් පෙන්වා දී ඇත.

නෙතන්යාහු සිය ඡන්ද ප්‍රචාරණයේ අවසාන සති කිහිපය ගෙවා දැමුවේ සංචාරක වේදිකාවක් බවට පරිවර්තනය කරන ලද වෙඩි නොවදින වීදුරුවලින් ආවරණය කළ ට්‍රක් රථයකින් රට වට සරමින්ය. නෙතන්යාහු හිතවාදී දැන්වීම් සහ ඔහුගේ විරුද්ධවාදීන් මැකී යන ඡායා ලෙස නිරූපණය කරන දැන්වීම්වලින් බස් රථවල පැති ආවරණය කර තිබුණි.

නෙතන්යාහු නැවත පැමිණෙන්නට යන්නේ වත්මන් වැඩබලන අගමැති යායර් ලපිඩ් විසින් පසුගිය වසරේ පැවති මැතිවරණයෙන් පසු ඔහු තියුණු ලෙස අභිබවා ගිය පසුය.

අඟහරුවාදා මැතිවරණයේදී පමණක් නොව ඊට පෙර පැවති හතරේදීම නෙතන්යාහු ප්‍රධාන ප්‍රශ්නවලින් එකක් වී ඇත. ඔහු බලයට පත් කිරීමට අවශ්‍යද නැද්ද යන්න මත පදනම්ව ඡන්ද දායකයෝ සහ දේශපාලනඥයෝ කඳවුරුවලට බෙදී සිටිති.

පසුගිය මැතිවරණ හතර තුළ ඔහුට ස්ථාවර රජයක් ගොඩනැගීමට නොහැකිව මතු වූ   දුෂ්කරතාවය නම්, නෙතන්යාහු සමඟ එක්වන සමහර දේශපාලන පක්ෂ පවා ඔවුන්ගේම පෞද්ගලික හෝ දේශපාලන හේතු මත ඔහු සමඟ වැඩ කිරීම ප්‍රතික්ෂේප කිරීමයි.

නිල ප්‍රතිඵල ලැබීමෙන් පසු ජනාධිපති අයිසැක් හර්සොග් ආණ්ඩුවක් පිහිටුවීමට හැකි යැයි තමා සිතන දේශපාලනඥයාට ආරාධනා කරනු ඇත. නෙතන්යාහු රජයේ ප්‍රධානියා ලෙස නැවත පැමිණීමෙන් ඊශ්‍රායල සමාජය තුළ මූලික උඩු යටිකුරු වීම් රැසක්ම සිදුවිය හැකි බව ජාත්‍යන්තර මාධ්‍ය කියයි.

බෙන්ජබින් නෙතන්යාහු යනු ඊශ්‍රායලයේ දීර්ඝතම කාලයක් අග්‍රාමාත්‍ය ධුරය දැරූ පුද්ගලයායි. ඔහු ඉකුත් වසරේදී බලයෙන් පහ කෙරුණේ අඛණ්ඩ වසර 12ක පාලනයකින් පසුවයි. ඔහුට එරෙහිව අල්ලස් සහ වංචා චෝදනා සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩු විභාග වෙමින් පවතියි.