2022 ඔක්තෝබර් 16 වන ඉරිදා

ලෝකයම එන වසරේ කබලෙන් ලිපට!

 2022 ඔක්තෝබර් 16 වන ඉරිදා, පෙ.ව. 08:00 126

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ  විශේෂ වාර්තාවක් අනුව දැඩි ණය අර්බුදය හේතුවෙන් කඩිනම් සහන සැලසිය යුතු ලොව රටවල් පහ අතරට ශ්‍රී ලංකාවද ඇතුළත්ව  ඇත. ශ්‍රී ලංකාවට අමතරව ක්ෂණික අවදානමකට ලක්ව ඇති සෙසු රටවල් වන්නේ පකිස්ථානය, ටියුනීසියාව, සැම්බියාව සහ චැඩ් යන රටවල්ය.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නිකුත් කළ නවතම වාර්තාව මගින් පෙන්වා දෙන්නේ ක්ෂණික සහන නොලැබුණහොත් මෙම රටවල් තවදුරටත් දුප්පත්වීමේ දැඩි අවදානමක් පවතින බවයි.   

ණය අර්බුදය හේතුවෙන් ලෝකයේ රටවල් 54කට සහන සැලසිය යුතු තත්ත්වයක් උද්ගතව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පවසයි. ඔවුන්ට අනුව ලොව දුප්පත්කමින් බැටකන ජනතාවගෙන් හරි අඩකට වඩා ජීවත්වන්නේ මෙම රටවලයි.
මේ අතර ලබන වසරේදී ලෝක ආර්ථික අවපාතයක් ඇතිවීමේ දැඩි අවධානමක් පවතින බව ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියා ඇත. දියුණු රටවල ආර්ථිකයන් මන්දගාමීවීම හා වේගවත් උද්ධමනය, සංවර්ධනය වෙමින් පවතින රටවලට දැඩි බලපෑමක් එල්ලකරනු ඇති බවට ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අඟවා තිබේ.