සිය හිජාබය නිසියාකාරව පැළඳ නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසු මියගිය මහ්සා අමිනී කාන්තාව සම්බන්ධ සිද්ධියෙන් දින 11 කට පසුවත් තවදුරටත් මහමග ඇවිල යන ඉරාන කැරලිවලින් මියගිය සංඛ්‍යාව 76ත් පන්නා ඇති බව වාර්තා වේ.
ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සිය අඟහරුවාදා වාර්තා කළේ, අමිනීගේ මරණය සම්බන්ධයෙන් මහජන විරෝධතා අතරතුර, සෙනසුරාදා වන විට 41 සිට - 60 දෙනකු පමණ මිය ගොස් සිටි බවයි. රටේ දැඩි ඇඳුම් පැළඳුම් සංග්‍රහය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඇය සදාචාර පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඉකුත් 16 වැනි දින අත්අඩංගුවේ සිටියදීම සිදුවූ බව කියන අමිනීගේ මරණයෙන් පසු සෑම රාත්‍රියකම මෙන් සඳුදා රාත්‍රිය පුරා ද විරෝධතාකරුවෝ නැවතත් වීදි බැස සිටියෝය.
රටේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ දශක තුනකට වැඩි දැඩි පාලනය අවසන් කරන ලෙස ඉල්ලා ටෙහෙරාන් ජනකාය මේ වනවිට ‘ඒකාධිපතියාට මරණය’ යැයි කෑගසමින් මහ පාරේ විරෝධය පාති. ඒ ජන හඬට විරෝධය පළ කරමින් ආරක්ෂක අංශවල කඳුළු ගෑස් ප්‍රහාර එල්ල වෙමින් ඇත. ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය හි අවහිර කිරීම් ඇතුළුව අන්තර්ජාලයට පවා දැඩි සීමා පනවා ඇති මෙම මර්දනයෙන් සඳුදා වනවිට අවම වශයෙන් පුද්ගලයන් 76 දෙනකු මිය ගොස් ඇති බවත්, ඔවුන් 1,200 කට වඩා අත්අඩංගුවට ගෙන ඇති බවත් නිලධාරීහු සඳුදා පැවසූහ. අත්අඩංගුවට ගත් පිරිසට සමාජ ක්‍රියාකාරීන්, නීතිඥයන් සහ මාධ්‍යවේදීන් මෙන්ම නිදහස් මතධාරී විරෝධතාකරුවන් ද ඇතුළත්ය.