2022 ඔක්තෝබර් 02 වන ඉරිදා

සෞදියේ අගමැතිකම ඔටුන්න හිමි කුමරුට

 2022 ඔක්තෝබර් 02 වන ඉරිදා, පෙ.ව. 08:00 166

මතභේදයට තුඩු දී ඇති  චරිතයක් වන සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු ඔහුගේ පියා වන සල්මාන් රජු විසින් එරට අග්‍රාමාත්‍යවරයා ලෙස උසස් කර තිබේ. සෞදි රජු සල්මාන් කැබිනට් සංශෝධනයක් පිළිබඳ නියෝග කළේ තම පුතාට උසස්වීම් ලබා දෙමිනි. මේ සමඟ ඔහුගේ අනෙක් පුත් ඛාලිඩ් බින් සල්මාන් නියෝජ්‍ය තනතුරේ සිට ආරක්ෂක අමාත්‍යවරයා දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම සෞදි අරාබියේ බලශක්ති අමාත්‍යවරයා ලෙස අබ්දුල්අසීස් බින් සල්මාන් කුමරු කටයුතු කරයි.

සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු, MBS ලෙස මොහොමඩ් බින් සල්මාන් කුමරු හඳුන්වනු ලබන අතර, සෞදි අරාබියේ සල්මාන් රජු කැබිනට් සංශෝධනය කළේ සාම්ප්‍රදායිකව රජු විසින් දරන එම තනතුර තම පුත්‍රයාට ලබා දෙමිනි.

ඔහු රාජධානියේ අග්‍රාමාත්‍යවරයා බවට පත්ව ඇති බව අඟහරුවාදා රාජකීය නියෝගයක් ප්‍රකාශ කළේය. සැබැවින්ම වසර ගණනාවක් රාජධානියේ තිරය පසුපස සැබෑ පාලකයා වූයේ  ඔහුය. ඔහු  මීට පෙර සල්මාන් රජු යටතේ නියෝජ්‍ය අගමැති ලෙස මෙන්ම ආරක්ෂක අමාත්‍යවරයා ලෙසද කටයුතු කළේය.

පසුගිය මාසයේ 37 වැනි වියට පා තැබූ මොහොමඩ් කුමරු, 2017 වසරේ සිට තම පියාගෙන් පසු රජකමට පත්වන උරුමය හිමි පළමුවැන්නා වී සිටියි. ඔහු බලයට ගෙන ඒමේ ප්‍රයත්නය කාලයක සිට ක්‍රියාත්මකය. ඔහු 2015 දී ආරක්ෂක අමාත්‍යවරයා බවට පත් වූ අතර, ඔහු ප්‍රධාන අමාත්‍යාංශවල නායකත්වය ලබාගත්තේ වේගවත් බලය තහවුරු කර ගැනීමේ මෙහෙයුමේ ප්‍රධාන පියවරක් හැටියටය.

ලොව ප්‍රමුඛතම තෙල් අපනයනකරුවා වන සෞදි අරාබිය 86 හැවිරිදි සල්මාන් රජුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රචාර මැඩපැවැත්වීමට වසර ගණනාවක් උත්සාහ කර ඇත. 2017 දී, රජු මොහොමඩ් කුමරුට පක්ෂව ඉල්ලා අස්වීමට සැලසුම් කරන බවට කසුකුසු වාර්තා පවා පළ විය.

සල්මාන් රජු මේ වසරේ මේ දක්වා දෙවරක් රෝහල් ගත කර ඇති අතර, ඉතා මෑතක දී මැයි මාසයේ සතියක කාලයක් නැවතී සිටි බවත්, ඒ අතර colonoscopy ඇතුළු පරීක්ෂණ සඳහා ඇතුළත් වූ බවත් රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබුණි.