2022 සැප්තැම්බර් 25 වන ඉරිදා

දේදුනු අහස යට අවසන් ගමන ගිය මහා රාජිනිය

 2022 සැප්තැම්බර් 25 වන ඉරිදා, පෙ.ව. 08:00 136

දෙවැනි එලිසබෙත් රාජිනිය සිය ශතකයකට ආසන්න දිවිසැරිය නිමාකර අවසන් ගමන ගියේ කාලයකට පසු දක්නට ලැබෙන අන්දමේ අසිරිමත් සිදුවීම් සහ සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර රැසකට ජීවය දෙමිනි.

එදා උදෑසන කාලාන්තරයකට පසු “බිග් බෙන්“ ඔරලෝසුව උදෑසන 9 සිට සිය  ශෝකී රාවය නංවන්නට විය. ඒ අතර සොබාදහම අසිරිමත් ආකාරයකින් සිය ශෝකය ප්‍රකාශ කරනු දක්නට හැකිවිය. අවසන් ගමන් යන රැජිනියට ආසිරි පතන්නට මෙන් ඇගේ දේහය තැන්පත්ව තිබූ වෙස්ට්මිනිස්ටර් මාලිගයට ඉහළින් එදා දේදුන්නක් පායා තිබුණි. එය පායා තිබුණේ කලින් ඔර්ලෝසු කුලුන ලෙස නම් දැරූ දැන් එලිසබෙත් කුලුන ලෙස හඳුන්වන කුලුන මුදුනින්ය. වඩාත්ම අපුරුව වන්නේ එලිසබෙත් රාජිනිය මියගිය බව වාර්තා වූ සැප්තෑම්බර් 8දා ද මෙලෙසම විස්මිත දේදුන්නක් දක්නට ලැබීමය. ඇත්තෙන්ම එය ද්විත්ව දේදුන්නක් වූ අතර රැජිනගේ නිල නිවාසය ලෙස සැලකිය හැකි බකිංහැම් මාලිගය ඉහළින් එය පායා තිබුණි.

ආසියාතික ලිලී මල්, ග්ලැඩියොලි, ඇල්ස්ට්‍රෝමෙරියා, යුස්ටෝමා, ඉංග්‍රීසි ඕක් කොළ, අඬන බර්ච් සහ මර්ට්ල් අතු ඇතුළුව මල් වර්ග හතක් රැජිනගේ අවමංගල්‍ය මල් සැකසුම් සඳහා යොදාගෙන තිබුණි. රැජිනගේ මිනීපෙට්ටිය දියමන්ති, මැණික්ගල් සහ මුතු 3169 කින් අලංකාර කර තිබිණි.

අවසන් දිනයේත් දිවංගත රාජිනියට ගෞරව කිරීම සඳහා ලන්ඩනයට මහ පිරිසක් ඇදී ආහ. ඇගේ පවුලේ සාමාජිකයෝ දේහය සමඟ එය වෙස්ට්මිනිස්ටර් ඇබේ වෙත ගමන් කරන විට මෙන්ම, පසුව සැතපුමකට වඩා වැඩි දුරක් වෙලින්ටන් ආරුක්කුවට සහ අවසානයේ වින්ඩ්සර් මාලිගය වෙත රැගෙන යන විට ඒ සමඟ ගමන් කළෝය.   වෙස්ට්මිනිස්ටර් ඇබේ වෙත පැමිණි අමුත්තන්, වින්ඩ්සර් හි උත්සවය සඳහා  ආරාධනා නොලබන අතර, ඒ වෙනුවට ඇගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සහ ඇගේ වතුවල වැඩ කළ අය වන රැජින හොඳින්ම දැන සිටි පුද්ගලයන් හට අවස්ථාව ලබා දී තිබුණි.

මුලින් දේහය වෙස්ට්මිනිස්ටර් මාලිගයේ සිට අඩි 500ක් පමණ දුරින් වෙස්ට්මිනිස්ටර් ඇබේ වෙත රැගෙන ගිය අතර, එහිදී රාජ්‍ය අවමංගල්‍ය ආරම්භ විය. ඒ පුරාණ දේවස්ථානයේ දේව මෙහෙයට රටේ අගමැති සහ මැති ඇමැතිවරු, ජනාධිපතිවරු, විදේශීය රාජකීයයන් සහ රැජිනගේ ඥාතීන් සහභාගී වූහ. ඇ‍මෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්, ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා සහ නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩර්න් වැනි ජනාධිපතිවරුන් සහ රාජ්‍ය ප්‍රධානීන් 100 ක් ඇතුළුව අමුත්තන් 2,000 ක් වෙස්ට්මිනිස්ටර් ඇබේ වෙත මෙලෙස රැස්ව සිටියහ. ජෝන් මේජර්, ටෝනි බ්ලෙයාර්, ගෝර්ඩන් බ්‍රවුන්, තෙරේසා මේ, ඩේවිඩ් කැමරන් සහ බොරිස් ජොන්සන් ඇතුළු බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරැ හය දෙනෙක් ද අවමංගල්‍ය උත්සවයට සහභාගි වී සිටියහ.
රැජිනගේ පවුලේ උදවිය වෙනම පෞද්ගලික දේව මෙහෙයක් සඳහා එක්වන අතර අවසානයේ රැජිනගේ දේහය තැන්පත් කරනු ලබන්නේ ඇගේ ආදරණීය සැමියා වන පිලිප් කුමරු සහ ඇගේ සොහොයුරිය වන මාග්‍රට් කුමරිය මෙන්ම ඇගේ දෙමාපියන් වන හයවැනි ජෝර්ජ් රජු මව් රැජින අසල ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ බිම් මහලේ ඇති රාජකීය සුරක්ෂිතාගාරයේය. දෙවැනි එලිසබෙත් රැජිනගේ අවසන් විවේක ස්ථානය වන රාජකීය සොහොන් ආගාරයේ ඇති තෝම්බු ඵලකයේ ඇගේ නම දැන් සටහන් කර හමාරය. වින්ඩ්සර් කාසල් හි ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ පැවැති  රාජකීයයන්ගේ මෙම පෞද්ගලික දේව මෙහෙයට ද අමුත්තන් 800 ක් පැමිණ සිටියහ. මෙය සඳුදා සවස (සැප්තැම්බර් 19) රජතුමාගේ පවුලේ අය සහභාගී වූ පෞද්ගලික භූමදානයකින් පසුව සිදු විය.

එදා වින්ඩ්සර් හි ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ පැවති කැපකිරීමේ දේවමෙහෙය අතරතුර, තවත් සුවිශේෂි දර්ශනයක් ලෝ පුරා ජනතාවට ප්‍රථම වරට රෑපවාහිනියෙන් දක්නට හැකිවිණි. ඒ රැජිනගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ තමා සිදු කළ ස්වේච්ඡා සේවාව අවසන් කළ බව අඟවමින් චේම්බර්ලයන් සාමිවරයා ලෙස කටයුතු කළ මින්ස්මියර්හි පාකර් සාමිවරයා සිය කාර්යාලීය නිල යෂ්ටිය කඩා දැමීමේ සම්ප්‍රදායයි. එසේ සංකේතාත්මකව යෂ්ටිය කඩා දැමූ පසුව ඔහු එය රැජිනගේ මිනී පෙට්ටිය මත තැන්පත් කළ අතර, එය රැජින සමඟ තැන්පත් කරන්නට යෙදිණි. මේ සම්ප්‍රදාය අවසන් වරට දක්නට ලැබී ඇත්තේ 1952 දීය. එවකට ක්ලැරන්ඩන්හි අර්ල්වරයා වූ චේම්බර්ලයින් සාමිවරයා විසින් හයවැනි ජෝර්ජ් රජුගේ භූමදානය අතරතුර එය ක්‍රියාත්මක කරන ලදී. නමුත් මෙම සම්ප්‍රදායානුකූල චාරිත්‍රය ලෝකය පුරා ජනතාවට දැක බලාගත හැකි ලෙස රූපවාහිනියෙන් විකාශය වූයේ මේ මුල් වරටය. චේම්බර්ලයින් සාමිවර තනතුර රාජකීය පවුල විසින් පත් කරන ලද ජ්‍යෙෂ්ඨතම නිලධාරි භූමිකාවයි. ඔවුහු රාජකීය පවුලේ සියලුම ජ්‍යෙෂ්ඨ පත්වීම් අධීක්‍ෂණය කරති. රජතුමා සහ සාමි මණ්ඩලය අතර සන්නිවේදනය පහසු කිරීම සහ බකිංහැම් මාලිගය සහ ක්ලැරන්ස් හවුස් අතර සම්බන්ධීකරණ කටයුතු ද සිදු කරති.

මේ අන්දමට තවත් චාරිත්‍රයක් ලෙස චාල්ස් රජු තමන්ගේ සටහනක් ද රැජිනගේ හමුදා ඛණ්ඩයේ ධජය ද මෙලෙසම එක් කරන අතර ඒවා ද දේහය සමඟ තැන්පත් කෙරේ. රැජිනගේ ආදරණීය සුරතල් සතුන් තිදෙනෙක් ද එදින පැමිණ සිටියහ. ඒ මුයික් සහ සැන්ඩි නමැති කෝර්ගි වර්ගයේ බලු පෝතකයන් දෙදෙනා සහ රැජිනගේ හිස්වැසුම සෑදල මත තබාගත් ඇගේ පෝනියාය. නව ලෝක වාර්තාවක් තබමින් අවමංගල්‍ය  දේවමෙහෙයේ සහ පෙරහරේ ආවරණය නැරඹීමට ලොව පුරා රූපවාහිනී නරඹන්නන් බිලියන හතරක් එක්ව සිටි බව වාර්තා වේ. ප්‍රවාහන බලධාරීන්ට අනුව ලන්ඩනයේ පැවති මහජන අවමංගල්‍ය පෙරහරට මිලියනයක ජනතාවක් පැමිණ සිටි බව ගණන් බලා තිබේ.

රැජින දැකබලා ගන්නට පැමිණීමට පසුකළ යුතුව තිබූ පෝලිමේ වැඩිම දිග සැතපුම් දහයක් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස සමහරැන්ට රැජිනට අවසන් බුහුමන් පිදීම සඳහා ගත කළ යුතු වූ කාලය පැය 24කට වඩා වැඩි විය. 

 I සුගත්

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00