2022 ජුලි 10 වන ඉරිදා

එංගලන්තයෙත් GO HOME විරෝධයක්!

 2022 ජුලි 10 වන ඉරිදා, පෙ.ව. 08:00 109

බොරිස් ජොන්සන් පසුගිය මාසයේ විශ්වාසභංගයකට මුහුණ දුන්නේය. ටෝරිවරුන් 211 දෙනෙකුගේ සහාය ඇතිව ජොන්සන් එයින් සිය මහපුටුව බේරාගත් නමුත් ඔහුට විරුද්ධව ඡන්ද 148ක් ලැබුණි. දැන් තමන්ට එරෙහි විශ්වාසභංගයෙන් බේරී සති කිහිපයකට පසු  බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ට එරෙහිව කැබිනෙට්ටුව තුළින්ම ‘GO HOME’ විරෝධයක් ඇරුඹී තිබේ. නමුත් ඔහු ගෙදර යන පාටක් නොපෙනෙන තැන දැන් ඇමැතිවරු බුරුතු පිටින් ඉල්ලා අස්වෙමින් ඔහුගේ පාලනයට විරෝධය පාමින් සිටිති.

ජාතික වශයෙන් වැදගත් කරුණු නොසලකා හරිමින් ක්‍රියාකරන බවටත්  අගමැතිවරයාගේ නායකත්වය පිළිබඳ විශ්වාසයක් නොමැති බවත් කියමින් ඔහුගේ ප්‍රධාන පෙලේ විශ්වාසවන්තයෙකු වූ හිටපු සෞඛ්‍ය ලේකම් සජිඩ් ජාවිඩ් තද ප්‍රකාශයක් කරමින් සිය ඉල්ලා අස්වීම දැනුම්දීමත් සමග අගමැතිට හිතවත් බොහෝ පිරිසක්ද ඒ අනුව යමින් ඉල්ලා අස්වෙන්නට වූහ. ඒ අතර ඔලිවර් ඩව්ඩන් සහ මුදල් අමාත්‍ය රිෂි සුනක් සමග අගමැතිගේ නායකත්ව අභිලාෂයන්හි මුල් අනුග්‍රාහකයෙකු වන රොබට් ජෙන්රික්ද වේ. 
නීතිපති ඇලෙක්ස් චෝල්ක්, බන්ධනාගාර ඇමැති වික්ටෝරියා ඇට්කින්ස්, ළමා කටයුතු ඇමැතිවිල් ක්වීන්ස්, නාගරික ඇමැති ජෝන් ග්ලේන් ඇතුළු ඇමැතිවරු 16ක් සහ වෙළඳ නියෝජිත ඇන්ඩෲ මොරිසන් ඇතුළු තවත්  මන්ත්‍රිවරු 13කට ආසන්න පිරිසක් බදාදා සවස් වනවිට ඉල්ලා අස්වීමට තීරණය කර තිබුණි. මුලින් අමාත්‍යවරුන් පස් දෙනෙක් - Kemi Badenoch, Julia Lopez, Lee Rowley, Neil O’Brien සහ Alex Burghart ඔහුට ඉවත්වන ලෙස සහ නැතිනම් තමන් ඉවත්වන බවට  බලකරමින් ඒකාබද්ධ ලිපියක් අස්සන් කළ අතර   පසුව මිම්ස් ඩේවිස් සහ රේචල් මැක්ලීන්ද රජයෙන් ඉවත් වන බවට ඔවුන්ගේ නම්ද  ලිපියට එකතු කළහ.

මෙම ඉල්ලා අස්වීම් රුල්ල සඳහා දැඩි ජවයක් සැපැයූ  සජිඩ් ජාවිඩ්ගේ කතාව 1990දී මාග්‍රට් තැචර් බලයෙන් පහ කිරීමට උපකාර වූ ජෙෆ්රි හෝව්ගේ ඉල්ලා අස්වීමේ කතාව පිළිබඳ මතකයන් අවදි කළේය. බොරිස් ජොන්සන්ගෙන් හිටපු කැබිනට් අමාත්‍ය ඩේවිඩ් ඩේවිස් ඉල්ලා සිටියේ තමන්ගේ අවශ්‍යතාවලට වඩා ඉදිරියෙන් ජාතියේ අවශ්‍යතා තබන ලෙසයි.

2016දී බොරිස් ජොන්සන්ගේ නායකත්ව අපේක්ෂාව සුන්කර දැමූ මන්ත්‍රී මණ්ඩලයේ ප්‍රධාන සංවිධායක මයිකල් ගෝව්, ජොන්සන්ගේ මුහුණටම ඔහු විනාශ වූ බව පිළිගන්නා ලෙසත් තනතුරෙන් ඉවත්වන ලෙසත් කියා තිබුණි. සමහර විචාරකයන්  අග්‍රාමාත්‍යවරයා  හඳුන්වන්නේ ග්‍රීස් ගෑ ඌරු පැටියා ලෙසටය. ඒ බොහෝ අන්තරාදායක දේශපාලන තත්ත්වයන්ගෙන් ගැලවී ලිස්සා යාමට ඔහුට ඇති හැකියාව නිසාය. නමුත් දැන් ඔහුගේ හිතවතුන් පවා බියෙන් පසු වන්නේ මෙවර ඔහු කොටුවෙනු ඇතැයි කියාය.

එහෙත් අගමැති ජොන්සන් තුළ බලය හැරයාමේ කිසිදු කැමැත්තක් නැත. ඔහු තවමත් කියන්නේ “අදටත් - හෙටටත් අගමැති මමයි” කියාය. මේ අනුව උදා වී ඇත්තේ ජොන්සන් බලෙන් ඉවත් කරන වටාපිටාවකි.

අගමැති  ජොන්සන්,  බලහත්කාරයෙන් ඉවත් කළහොත් හෝ ඉල්ලා අස් වුවහොත් ඔහු වෙනුවට පත්වීමට හැකි සුදුසු කම් දරන අය රුසකි. ඒ අතර හිටපු මුදල් ඇමැති රිෂි සුනක්, හිටපු සෞඛ්‍ය ලේකම් සජිඩ් ජවීඩ්, හිටපු විදේශ ලේකම් ලිස් ට්‍රස්, ස්වදේශ කටයුතු ලේකම් ප්‍රීති පටෙල්, සෞඛ්‍ය හා සමාජ සත්කාර කමිටුවේ සභාපති ජෙරමි හන්ට්, දැනට ජ්‍යෙෂ්ඨ භූමිකාවන් රුසක් දරමින් සිටින වෙළඳ ඇමති පෙනි මොර්ඩෝන්ට් ඇතුළු තවත් 5 දෙනකුගේ නම් දැනට කියැවෙයි.

 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00