වැටුප් ආරවුලක් මත නෝර්වීජියානු තෙල් හා ගෑස් කම්කරුවන් ඇරුඹූ වැඩවර්ජනය හේතුවෙන් යුරෝපයේ ස්වභාවික ගෑස් මිල හදිසියේම තවත් ඉහළ ගියේය. රුසියාවෙන් පසු යුරෝපයේ දෙවැනි විශාලතම බලශක්ති සැපයුම්කරු නෝර්වේ වන අතර, ඉහත කී වැඩවර්ජනය හේතුවෙන් ගෑස් මිල මාස හතරක කාලය තුළ එහි ඉහළම මට්ටමට තල්ලුකර ඇත.
නෝර්වීජියානු තෙල් හා ගෑස් සේවා යෝජකයින්ගේ සංධානය කියා සිටියේ වැඩවර්ජන නිසා ජූලි 9 සිට යුරෝපයට සිදුවන නෝර්වීජියානු ගෑස් අපනයනය 60%ක් පමණ නතර කළ හැකිව තිබූ බවය. වැඩවර්ජනය පිළිබඳ පුවත යුරෝපයේ ස්වාභාවික ගෑස්, අනාගත මිල 5%කින් එනම් යුරෝ 172 (ඩොලර් 177)ක් දක්වා ඉහළ නැංවීමට උපකාරී වූ බව අන්තර් මහාද්වීපික විනිමය දත්ත පෙන්වා දෙයි. මාර්තු මුල රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු දින කිහිපය තුළ සිට වාර්තාවූ ඉහළම මිල එය වේ. නොර්විජියා ගෑස් නිපැයුම් ක්ෂේත්‍ර තුනක් වසා දැමීම හේතුවෙන් දිනකට තෙල් බැරල් 89,000කට සමාන ප්‍රමාණයක් අහිමි වන බව නෝර්වේ රාජ්‍ය බලශක්ති සමාගමක් වන Equinor නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
මොස්කව් විසින් දැනටමත් යුරෝපය වෙත බලශක්ති සැපැයුම කප්පාදු කර ඇති අතර රුසියාවේ අපනයන මත යැපීම අඩු කිරීමට යුරෝපය උත්සාහ කරමින් සිටියි. රුසියාව Nord Stream 1 නල මාර්ගය හරහා යුරෝපයට ගෑස් ගලායාම අඩු කිරීමෙන් සති තුනකට ආසන්න කාලයකට පසුව මෙම නෝර්වීජියානු වැඩවර්ජනය සිදුව ඇත.
මෙවන් පසුබිමක නෝර්වේ බලශක්ති නිපැයුමේ ඕනෑම තිරසාර පහත වැටීමක් ශීත ඍතුවට පෙර ගෑස් තොග නැවත පිරවීමට යුරෝපය ගන්නා උත්සාහයට විශාල පහරක් එල්ල කළ හැකි අතර, ඉදිරියේ ව්‍යසනකාරී බලශක්ති හිඟයක් ඇතිවීමේ අවදානම ඉහළ නැංවිය හැකිය. එහෙයින් මේ ආරවුල සමථයකට පත්කිරීම සඳහා නෝර්වේජියානු රජය කඩිනම් අනිවාර්ය වැටුප් බේරුම්කරණයක් යෝජනා කර ඇති බව වාර්තා වේ.