එක්සත් ජනපද ගුවන් හමුදාවේ F-35A හයක් ඇලස්කාවේ Eielson ගුවන් හමුදා කඳවුරේ සිට දකුණු කොරියාවට පැමිණියේය. මෙම යානා දකුණු කොරියාවෙ F-35 සමග එක්ව ජූලි 14 වැනිදා දක්වා ආරක්ෂක අභ්‍යාස මාලාවක යෙදීමට නියමිතය. මේ සමූහ සංදර්ශනය උතුරු කොරියාවට අභියෝගයක් ලෙස පැවැත්වෙන්නක්ද වෙයි.
එක්සත් ජනපද ගුවන් හමුදාව මෙන්ම, දකුණු කොරියානු ගුවන් හමුදාවද F-35A භාවිත කරන අතර, එම රට වෙත පළමු ජෙට් යානය ඒවායේ නිෂ්පාදකයා වන Lockheed Martin විසින් 2018 දී ලබාදෙන ලදී. එහි පස්වැනි පරම්පරාවට අයත් ජෙට් යානා 40 කින් යුත් බලඇණියක් දැන් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මකය.
දකුණු කොරියානු ප්‍රකාශකයෙකු පැවසුවේ මිත්‍ර රටවල් දෙකේ මෙම රහසිගත ගුවන් ප්‍රහාරකයින් එක්ව කටයුතු කරන පළමු අවස්ථාව මෙය බවයි. ප්‍රවීණයන් පවසන ආකාරයට උතුරු කොරියාවට එරෙහි ඕනෑම ක්‍රියාමාර්ගයකදී Pyongyang හි රේඩාර් මගහැර යා හැකි මෙම රහසිගත ප්‍රහාරකයින් ඉතා වැදගත් වෙයි.
පසුගිය මාස කිහිපය තුළ උතුරු කොරියාව සමඟ භූ-දේශපාලනික ආතතීන් වැඩිවෙමින් පවතී. න්‍යෂ්ටික යුධ හිස් රුගෙන යා හැකි නව මිසයිල සමූහයක්ම උතුරු කොරියාව වාර්තාගත වේගයකින් අත්හදා බලමින් සිටින අතර මේ වසරේ අවම වශයෙන් එබඳු දියත් කිරීම් 17ක් වත් සිදු කර ඇත. F-35 යනු ලොව දියුණුම ප්‍රහාරක ගුවන් යානා වලින් එකකි.