2022 ජුලි 03 වන ඉරිදා

පිලිපීනයට නැවතත් මාර්කෝස්!

 2022 ජුලි 03 වන ඉරිදා, පෙ.ව. 08:00 42

මාර්කෝස් පවුල වසර 36කට පසුව යළි පිලිපීනයේ බලයට පත්ව ඇත. ඒ පිලිපීනයේ නව ජනාධිපතිවරයා ලෙස මාර්කෝස් (ජූනියර්) හෙවත් “බොන්ග් බොන්ග්”  දිවුරුම්දීමත් සමගිනි.

මාර්කෝස් ජූනියර්ගේ පියාවූ ෆර්ඩිනැන්ඩ් මාර්කෝස් (සීනියර්) 1965 සිට 1986 දක්වා බලයේ සිටි අතර ඔහුගේ ධුර කාලයේදී වංචා සහ දූෂණ රැසක් සිදුවූ බවට චෝදනා එල්ල වූයේය. ආඥාදායකයෙකුද වූ ඔහු පසුව බලයෙන් පහ කෙරැණේ ජනතාවගෙන්  එල්ලවූ දැඩි විරෝධය මතය. ඔහුගේ බිරිඳවූ ඉමෙල්ඩා මාර්කොස්ටද චෝදනා එල්ල වූයේ අමෙරිකානු ඩොලර් බිලියන 10කට ආසන්න මුදලක් වංචා කළ බවටය.

ඇගේ සැමියාට බලය අහිමි වනවිට ඇය සතුව විශාල මුදල් කන්දරාවක් මෙන්ම කලා නිර්මාණ, රන් ආභරණ මෙන්ම සපත්තුද 3,000ක් ද තිබූ බවට ඒකල විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. එය සැලකුණේ ලෝක ඉතිහාසයේ රජයකින් වාර්තා වූ දරැණුතම මහා මංකොල්ලය ලෙසය. 

එවන් පවුලකින් බිහිවූ මාර්කෝස් ජූනියර් හෙවත් “බොන්ග් බොන්ග්” යළි පිලිපීනයේ ජනාධිපති ලෙස තේරී පත්වන්නේ ඉකුත්දා පැවැති මැතිවරණයෙන් සියයට 60ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමිනි.