2022 ජුනි 26 වන ඉරිදා

මෙන්න ඇත්තම 007!

 2022 ජුනි 26 වන ඉරිදා, පෙ.ව. 08:00 213

007 සංකේතය දැන් ලෝකයම දනී. ඒ ඉයන් ෆ්ලෙමිංගේ සුප්‍රකට රහස් පරීක්ෂ චරිතය “ජේම්ස් බොන්ඩ්“ගේ හැඳුනුම් අංකය හැටියටය. නමුත් මෙයට පෙර මේ අංකයම යොදා ගත් සැබෑ ජේම්ස් බොන්ඩ් කෙනෙක්ද සිට ඇති බව දැන් සොයාගෙන ඇත. ඔහු පළමුවන එළිසබෙත් රුජිනගේ ජ්‍යෝතිෂ් ශාස්ත්‍රඥයා ලෙසද කටයුතු කළ ජෝන් ඩී. නමැත්තාය. ටියුඩර් නිකායිකයෙක් වූ ඔහු මේ රහස්‍ය අංකය යොදා ගනිමින් වෙනත් ආගමික නිකායික ප්‍රභුවරුන් ගැන ඔත්තු සැපයූ බව විශ්වාස කෙරේ.

වර්තමානයේද “ජේම්ස් බොන්ඩ්”  රැජින සහ රට වෙනුවෙන් සේවය කිරීම වැදගත්ම කරුණ ලෙස සලකයි. එලෙසම සැබෑ 007ද සැබෑ ලෙසම රැජනට සේවය කර ඇත. ඩොක්ටර් ඩී. ලෙස හඳුන්වා ඇති ජ්‍යෝතිෂ් ශාස්ත්‍රඥ ජෝන් ඩී. එකල ටෙනිස්  ක්‍රීඩිකාවක ලෙස පෙනී සිට රැජින වෙනුවෙන් ඔත්තු බලා ඇත. මේ ඔත්තු සේවා රැජනට වැදගත් වූයේ ඇය තම රටේ පමණක් නොව යුරෝපය පුරා කතෝලිකයන් විසින් වටකරන ලද එකම රෙපරමාදු භක්තිකයා වූ නිසාය. ඇය යොදාගත් ඔත්තුකරුවන් අතර ජෝන් ඩී. හෙවත් සැබෑ 007 වඩාත් ප්‍රියතමයා සහ විශ්වාස වන්තයාව සිට ඇති බව මේ ඉතිහාසය සොයා ඒ ගැන ග්‍රන්ථයක් ලියා ඇති ක්‍රිස්ටියන් හොව්ගිල් නම් වූ කතුවරයා එළිදරව් කර ඇත.

එම යුගයේ මුල ටෙනිස් ක්‍රීඩාව ඉතා  ජනප්‍රිය වූ අතර බොහෝ විට විශාල ඔට්ටු  සඳහා ක්‍රීඩා කරන ලදී. රුජින මේ ක්‍රිඩාව සිය දේශපාලනික - ආරක්ෂක බුද්ධි මෙහෙයුම සඳහා උපක්‍රමශීලි ලෙස යොදා ගත්තාය. ආචාර්ය ඩී. ද රුජින වෙනුවෙන් ඔත්තු බලමින් ඇය වෙත එවූ ලිපිවල අගට ඒ 007 සංකේතය යොදා ඇත්තේ ඒවා තමන් විසින්ම බරීක්ෂා කළ සොයාගත් සත්‍ය තොරතුරු බව අඟවන්නටය. මේ වෙස්වලාගත් ඔත්තු සේවය හේතුවෙන් පසුව ඔහුට රාජකීය තාන්න මාන්න පවා ලැබී තිබේ.

ආචාර්ය ඩී. කේම්බ්‍රිජ්හි ශාන්ත ජෝන් විද්‍යාලයේ ඉගෙනුම ලැබූවෙක් වන අතර ඔහුගේ පරම්පරාවේ වඩාත්ම උගත් මිනිසුන්ගෙන් කෙනෙකු ලෙස සැලකේ. පසුව 1558 දී පළමු එළිසබෙත් සිංහාසනයට පත් වූ පසු වසර කිහිපය තුළ ඇය සිය විද්‍යාත්මක හා ජ්‍යෝතිෂ් ශාස්ත්‍ර උපදේශක ලෙස ඔහුව පත් කළාය. ඔහු ඔත්තුකරුවෙකු බවට දැන් සිතන්නේ ඔහු රැජිනට ලියූ ලිපිවල භාවිතා කර ඇති 007 සංකේතය නිසාය. එහි ‘00’ යන්න  ඔහුගේ ඇසින්ම දුටු බව සංකේතවත් කිරීමට හෝ 'ඔබේ දෑසට පමණකි - for your eyes only’ යන අර්ථය ඇති කේතයක් විය හැකි බව විස්වාස කරයි. සංඛ්‍යා විද්‍යාවට සහ සංඛ්‍යාවල ගුප්ත ගුණයට වශී වූ ආචාර්ය ඩී - පූජනීය හෝ වාසනාවන්ත අංකයක් ලෙස සලකන අංක “7”ද පසුව දූරදර්ශී ලෙස එක්කළා වන්නට ඇති බව මේ සම්බන්ධ විශ්ලේෂකයෝ කියති.

ඉයන් ෆ්ලෙමිං ජෝන් ඩී. සම්බන්ධ මේ පූරාණ කතාව දැන සිටින්නට ඇති අතර ඔහු මේ ඉතිහාස ගත ඔත්තුකරුවාගේ රහස් සංකේතය සිය වත්මන් රහස් පරීක්ෂකයාගේ ජනප්‍රියතාව වර්ධනය සඳහා යොදාගන්නට ඇතැයි මේ ඉතිහාසය හඹා ගිය කතුවර ක්‍රිස්ටියන් හොව්ගිල් එළිදරව් කර ඇත.