2022 ජුනි 26 වන ඉරිදා

යුක්‍රේන දරුවන්ට කන්න දෙන්න නොබෙල් පදක්කම විකුණූ රුසියානු මාධ්‍යවේදියා!

 2022 ජුනි 26 වන ඉරිදා, පෙ.ව. 08:00 119

පසුගිය 2021 වසරේ නොබෙල් සාම ත්‍යාගය දිනූ රුසියානු මාධ්‍යවේදියෙකු වන දිමිත්‍රි මුරතොව් පසුගියදා ඔහුගේ පදක්කම ඩොලර් මිලියන 103.5කට වෙන්දේසි කළ අතර, එයින් ලැබෙන ආදායම යුක්‍රේන ළමා සරණාගතයින්ට ආධාර කිරීමට පරිත්‍යාග කළේය. මුරතව් යුනිසෙෆ් හි ළමා සරණාගත අරමුදලට ප්‍රතිලාභ ලබාදීම සඳහා ඔහුගේ 2021 නොබෙල් සාම ත්‍යාගය වෙන්දේසි කළ බව එය වෙන්දේසි කළ හෙරිටේජ් ආයතනය ප්‍රසිද්ධ කර තිබුණි. එය ඩොලර් 103,500,000කට අලෙවි විය.

මුරතව් 2021 වසරේ නොබෙල් ත්‍යාගය පිලිපීන ඇමරිකානු මාධ්‍යවේදිනී මාරියා රෙසා සමඟ සමසේ ලබාගත්තේ එහිදී විනිසුරුවන් විස්තර කළ අයුරින් ඔවුන්ගේ ''ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ උත්සාහය''ට ලද ඇගැයීමක් ලෙසටය. මුරතව්, ස්වාධීන රුසියානු ප්‍රවෘත්ති ආයතනයක් වන Novaya Gazetaහි ප්‍රධාන කර්තෘ වේ. නොබෙල් සාම ත්‍යාග සංවිධානයට අනුව, ඔහු ''2014 දී රුසියාව විසින් ක්‍රිමියාව ඈඳා ගැනීම සහ රුසියාව තුළ සහ ඉන් පිටත රජය හමුදා බලය යෙදවීම විවේචනය කළ අයෙකි. රුසියාව සිදුකළ යුක්‍රේනය ආක්‍රමණයට කලා ලෝකය ප්‍රතිචාර දක්වන්නේ සිය සංදර්ශන අවලංගු කර සබඳතා කපා හැරීමෙනි.

යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු ක්‍රෙම්ලිනය එරට ස්වාධීන මාධ්‍ය කෙරෙහි සිය ග්‍රහණය දැඩි කර ඇත. චෙච්නියාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන වාර්තා කළ ක්‍රෙම්ලිනයේ දැඩි විවේචකයෙකු වන ඇනා පොලිට්කොව්ස්කායා ඇතුළු මුරතව්ගේ පුවත්පතේ මාධ්‍යවේදීන් හය දෙනෙකු මේ වනවිට ඝාතනයට ලක්ව ඇත. මාර්තු මාසයේදී, නීති සම්පාදකයින් රුසියානු සන්නද්ධ හමුදාවන් අපකීර්තියට පත් කරන හෝ රටට එරෙහිව සම්බාධක ඉල්ලා සිටින ''ව්‍යාජ'' තොරතුරු පැතිරීම අපරාධයක් බවට පත් කරන ලදී.

වෙන්දේසි ආයතනයට අනුව ඉකුත්දා ලෝක සරණාගත දිනයේදී අවසන් කළ එම  වෙන්දේසියෙන් ලැබූ සියලුම මුදල් යුද්ධයෙන් අවතැන් වූ යුක්‍රේනියානු ළමුන් සඳහා යුනිසෙෆ්හි මානුෂීය ආධාර ඒකකය වෙත යොමුකර ඇත. එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය වන UNHCRට අනුව පෙබරවාරි අග රුසියාව ආක්‍රමණය කිරීමෙන් පසු යුක්‍රේනයේ සිට පලා ආ මිලියන 5 කට වැඩි සරණාගතයින් යුරෝපය පුරා වාර්තා වී ඇත. ඒ අතර යුක්රේනයේ මිලියන 7.7කට වඩා වැඩි පිරිසක් දේශසීමා හරස් වී කොටුවී ඇති බව නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

පරිත්‍යාග ඉල්ලා කරන ලද සිය ආයාචනයකදී යුනිසෙෆ් කියා තිබුණේ යුක්‍රේනයේ ළමුන් මිලියන 7.5ක් පවුලෙන් වෙන්වීම, මූලික සැපයුම් සහ සම්පත් නොමැතිකම සහ දිනපතා පුපුරණ ද්‍රව්‍ය තර්ජනයට මුහුණ දීම ඇතුළුව පවතින ගැටුම නිසා හටගත්  ආපදාවන්ගෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බවයි.

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00