ඉකුත් සතියේ නයිජීරියාවේ කතෝලික දේවස්ථානයක යාඥාවේ යෙදී සිටි බැතිමතුන් පිරිසකට එල්ල වූ කුරිරු ප්‍රහාරය ලෝකයම කැලඹිමට සමත්විය. නිරිතදිග නයිජීරියාවේ ඕවෝහි ශාන්ත ෆ්‍රුන්සිස් කතෝලික දේවස්ථානයේ ඉකුත් ඉරිදා රාත්‍රී 11.00ට පමණ මේ ආවාසනාවන්ත ඛේදවාචකය සිදුවිය.
පල්ලියේ දොරවල්වලින් කඩා වැදුණු සන්නද්ධ පිරිසක් ප්‍රධාන දොර වසාදමා ඩයිනමයිට් පත්තු කළ අතර ව්‍යාකූලත්වයට පත්වූ බැතිමතුන් පිපිරීම්වලින් බේරීමට එහි අනෙක් පිටවීම් දොරටු දෙක වෙත වේගයෙන් දිව යද්දී තවත් ආයුධ සන්නද්ධ පිරිසක් ඔවුන්ට වෙඩි තැබුහ. අවසානයේදී, ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසන්නේ කාන්තාවන් සහ ළමයින්ද ඇතුළු අවම වශයෙන් සිරුරු 50ක් පල්ලියේ බිම විසිරී තිබූ බවය. තවත් බොහෝ දෙනෙක් තුවාල ලබා තිබුණි. පූජාසනය මත, පල්ලියේ බිම සහ පිට්ටනියේ ලේ වැකි සිරුරු වැතිර තිබුණි. එය ඔවුන්ගේ අවසන් යාඥාව විය.
මෙය ලියන මොහොත වනවිටද ප්‍රහාරකයන්ගේ අනන්‍යතාවය සහ ඊට හේතුව අනාවරණය වී නොතිබුණු අතර, ඉන් කොපමණ පිරිසක් මියගොස් හෝ තුවාල ලබා ඇත්ද යන්න ස්ථිරව පැහැදිලි වී තිබුණේද නැත. නමුත් ඔන්ඩෝහි කතෝලික රදගුරු පදවියේ බිෂොප්වරයා පවසන්නේ ඔන්ඩෝ ප්‍රාන්තයේ විශාලතම දේවස්ථානයක් වන මෙම පල්ලියේ පුද්ගලයින් 1,200 දක්වා රුඳී සිටිය හැකි බවයි. ප්‍රහාරය එල්ල වනවිට එය පිරී තිබූ බව වාර්තාවේ.
මෙම ප්‍රහාරයෙන් දේවස්ථානයේ බිෂොප්වරයා සහ පූජකවරුන් නිරුපද්‍රිතව දිවි ගලවා ගෙන තිබුණි. දැන් සිද්ධිය පිළිබඳව පොලිසිය දැඩි විමර්ශන ආරම්භ කර තිබේ.