2022 ජුනි 12 වන ඉරිදා

ඩේවිඩ් ඇටෙන්බරෝට තවත් නයිට් පදවියක්!

 2022 ජුනි 12 වන ඉරිදා, පෙ.ව. 10:00 144

ලෝ  ප්‍රකට 96 හැවිරිදි ස්වභාව විද්‍යාඥ ඩේවිඩ් ඇටෙන්බරෝ, පාරිසරික රූපවාහිනී විකාශන සහ සංරක්ෂණය සඳහා වූ සේවාවන් සඳහා සිය දෙවැනි නයිට් පදවියටද හිමිකම් කීවේය. චාල්ස් කුමරු 2022 ජූනි 8 වැනි දින වින්ඩ්සර් මාලිගයේ පැවති උත්සවයකදී ඩේවිඩ් ඇටෙන්බරෝහට ශාන්ත මයිකල් සහ ශාන්ත ජෝර්ජ් නයිට් ග්‍රෑන්ඩ් ක්‍රොස් පදකම් පළඳවා ඔහුට මෙම නව ගෞරව පදවිය ප්‍රදානය කළේය.

ලෝක ඉතිහාසයේ දිගු කලක් කිරැළ දැරූ රැජිණ ලෙස දැන් සිහසුනට පත්ව වසර 70ක් ගතකරමින් ඉතිහාසයට එක්ව ඇති දෙවැනි එලිසබත් රැජිණ  අතින් 1985 දී  සිය මුල්ම  නයිට් පදවිය ලැබූ ඇටන්බරෝ, The Blue Planet වැනි පාරිසරික හා  ස්වභාවික වාර්තා චිත්‍රපට සෑදීම සඳහා වඩාත් ප්‍රසිද්ධියට පත්වූ අතර  එක්සත් රාජධානියේදී  එරට  ජාතික වස්තුවක් ලෙස බුහුමන් ලබන්නෙකි. ගිනස් ලෝක වාර්තා වලට අනුව, ඔහු ස්වභාව විද්‍යාඥයෙකු ලෙස පමණක් නොව රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස දීර්ඝතම වෘත්තීය ජීවිතය සපුරා වාර්තා තබා ඇත. කළු සහ සුදු, වර්ණ, HD සහ ත්‍රිමාණ ආකෘති මාලාවන් සඳහා BAFTA සම්මාන දිනාගත් එකම පුද්ගලයා වීමේ ගෞරවයද ඔහු සතුය.