2022 මැයි 08 වන ඉරිදා

රුසියාවෙන් න්‍යෂ්ටික ප්‍රහාරයක්!

 2022 මැයි 08 වන ඉරිදා, පෙ.ව. 10:00 40

රුසියාව මැයි 9දා යුක්රේනයට එරෙහි යුද්ධය නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට හැකි බවට දැන් සැක මතුව තිබේ. ඒ අතර රුසියාව න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීමටද බොහෝදුරට ඉඩ ඇති බවටද කරුණු ඉදිරිපත්ව ඇත. යුක්රේන ආක්‍රමණය ඔවුන් මෙතෙක් හඳුන්වා දී තිබුණේ එය එරට නාසිවාදී පාලනයෙන් මුදවා ගැනීමේ මෙහෙයුමක් හැටියටය. මැයි 9 එළැඹෙන ජයග්‍රහණයේ දිනය දා බොහෝවිට මුල් වතාවට යුද්ධය නිල ලෙසම ප්‍රකාශ කරනු ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මේ අලුත්වන යුද්ධය යුක්රේනය සහ එහි ජනතාවට මරණය, කොල්ලය, දූෂණය සහ විනාශය පමණක්ම තිළිණ කරනු ඇති බවට නිදසුන් මෑතකාලීන කියේව් ආශ්‍රිත ප්‍රහාරවලින්ද තහවුරු වී හමාරය. මේ විනාශය හමුවේ එල්ලවිය හැකි න්‍යෂ්ඨික ප්‍රහාරයක් අමෙරිකාව ඇතුළු ලෝකය හොල්ලා දමනු ඇත. ලෝකය තවත් ගොඩ ඒමට නොහැකි ආර්ථික ආගාධයක් කරා තල්ලු කිරීමක් වනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

පෙබරවාරි 24 වැනි දින යුක්රේනය ආක්‍රමණය කිරීම ආරම්භ වූ වහාම රුසියානු ජනාධිපතිවරයා රුසියානු න්‍යෂ්ටික හමුදා දැඩි සීරුවෙන් තැබීය. යුක්රේනයට වැඩිවන බටහිර සහයෝගය මධ්‍යයේ, රුසියාවේ න්‍යෂ්ටික අවි උපායශීලී ලෙස යෙදවීමට ඇති කැමැත්ත ගැන පුටින් තදින්ම ඉඟිකර ඇත. ව්ලැඩ්මීර් පුටින් සහ ඔහුගේ උපදේශකයින් යුක්රේනයේ මුලික මෙහෙයුම පුරා න්‍යෂ්ටික අනතුරු ඇඟවීම් සෙසු ලෝකය වෙත නිකුත් කර තිබුණි. සිය රටේ කටයුතු සඳහා ඔවුන්ගේ මැදිහත්වීම තවත් උත්සන්න කරන්නේ නම් එක්සත් ජනපදයට සහ උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයට NATO  දැඩි ප්‍රහාරයක් එල්ල කරන බවට තර්ජනය කර ඇත. මොස්කව් මෑතකදී ස්වීඩනයට සහ ෆින්ලන්තයට තර්ජනය කළේ ඔවුන් නේටෝවට සම්බන්ධ වුවහොත් දැඩි ප්‍රහාරයක් එල්ල කරන බවටය.

ඒ අතර රුසියාව ඉකුත් අප්‍රේල් 20 දින න්‍යෂ්ටික ද්‍රව්‍ය සහිත  සිය අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් වන Sarmatහි  පළමු අත්හදා බැලීම සිදු කළේය. මේ අත්හදා බැලීම ඉක්මන්  ප්‍රහාරයක් සඳහා දුන් සංඥාවක් හැටියට ඇතැම් විචාරකයෝ අර්ථ දක්වති. මේ යුක්රේන යුද්ධය මගින් රුසියාව ලෝකයට අනතුරු ඇඟවීම් 2ක් නිකුත් කිරීමට බලාපොරොත්තු වේ. මුලින්ම තමන්ට හිතවාදී පාලනයක් යුක්රේනය තුළ ගොඩනඟා ගැනීමය. දෙවැන්න සම්බාධක පනවමින් තමන්ගේ ස්වාධීනත්වයට බලපෑම් කරනා නේටො ප්‍රමුඛ බටහිරයන්ට තද පහරක්, මතක හිටින පහරක් එල්ල කිරීමය. මේ නිසාම  ලැබෙන මුල්ම අවස්ථාවේදීම නොපමාවම න්‍යෂ්ටික අවි  ප්‍රහාරයක් සඳහා ඔවුන් පසුබට නොවනු ඇති බවට දැන් කරුණු මතුව ඇත. 

යුක්රේනයට න්‍යෂ්ටික අවි මුදාහැරීම හැර ව්ලැඩිමීර් පුටින්ට ඉක්මනින්ම ‘ආපසු ගමනක්“ නැති වනු ඇතැයි ප්‍රමුඛ රුසියානු රෑපවාහිනී යුද වාර්තාකරුවෙකු පසුගියදා  ප්‍රකාශ කර තිබු‍ණේ ඒ ගැන ඉඟි කරමිනි. ඉකුත් ඉරිදා රාත්‍රියේ රුසියානු රාජ්‍ය මාධ්‍ය පුටින්ගෙන් ඉල්ලා සිටියේ න්‍යෂ්ටික බෝම්බ යෙදවීම මගින් ප්‍රේරණය කරන ලද යෝධ උදම් රළකින් මහා බ්‍රිතාන්‍යය සිතියමෙන් අතුගා දමන ලෙසය. එමෙන්ම පසුගිය සතියේ රුසියානු රාජ්‍ය රෑපවාහිනිය පුටින් යුරෝපයේ අගනගර තුනකට න්‍යෂ්ටික ප්‍රහාරයක් දියත් කරන ආකාරය අනුකරණය කර තිබුණි.

රුසියාවේ හදිසි න්‍යෂ්ටික අවි භාවිතයකට ප්‍රතිචාර දැක්වීමට නේටෝවට අවශ්‍ය වනු ඇත. එහෙත් එවන් ප්‍රතිචාරයක් මගින් රුසියාව සහ නේටෝව පුලුල් න්‍යෂ්ටික ගැටුමක් ලෝකය පුරා අවුලුවාලිය හැකිය. එය ලෝක විනාශයකට මඟපැදීමක් වනු ඇත.

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00