2022 මැයි 01 වන ඉරිදා

බඩුමිල අර්බුදය 2024 අග තෙක්!

 2022 මැයි 01 වන ඉරිදා, පෙ.ව. 10:00 112

ලංකාව පමණක් නොව ලෝකයම දැන් අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකට මුහුණ දෙමින් සිටියි. කොවිඩ් වසංගතයත්, රුසියාවේ යුක්රේණ ආක්‍රමණයත්, ඇතිකළ ආර්ථික අලකලංචිය හේතුවෙනි.

දැනට ලෝකය පුරා පැතිර යමින් ඇති මේ ආහාර සහ බලශක්ති මිල ගණන් ඉහළ යාමේ අර්බුදය තවත් වසර ගණනාවක් පුරා පැවතිය හැකි බවට ලෝක බැංකුව අනතුරු අඟවයි. ලෝක බැංකුවට අනුව, රුසියාවේ යුක්රේන ආක්‍රමණය, භාණ්ඩ වෙළඳපොළ තුළ ඓතිහාසික කම්පනයකට දායක වී ඇති අතර එය 2024 අවසානය දක්වා ගෝලීය මිල ඉහළ මට්ටමක තබාගන්නට හේතුවනු ඇත.

පසුගිය දෙවසර තුළ බලශක්ති මිල ඉහළ යාම 1973 තෙල් අර්බුදයෙන් පසු ලොව ඇතිවූ විශාලතම ඉහළ යාම වන අතර ආහාර මිල ඉහළ යාම 2008 සිට ඉහළම මට්ටමකට ළඟා වී ඇති බව ලෝක බැංකුව ඉකුත් අඟහරුවාදා සිය භාණ්ඩ වෙළෙඳපොළ ඉදිරි දැක්ම පිළිබඳ වාර්තාවේ සඳහන් කළේය.

රුසියාව ලොව තෙල්, ස්වාභාවික ගෑස් සහ ගල් අඟුරු අපනයනය කරන රාජ්ජයන්ගෙන්  ප්‍රමුඛයා වන අතර යුක්රේනය තිරිඟු සහ බඩ ඉරිඟු සැපැයුමේ ප්‍රධාන ප්‍රභවයකි. යුද්ධය හේතුවෙන් පොහොර මිල ඉහළ යාමත් එමෙන්ම ප්‍රධාන ලෝහ සඳහා වූ මිල ඉහළ යාමත් මගින් වෙළඳපළ තත්ත්වය තවත් උග්‍රකර ඇත.

2023 සහ 2024දී යම් ලිහිල් වීමක් ලැබීමට පෙර, පසුගිය වසරේ ආසන්න වශයෙන් දෙගුණ වූ, බලශක්ති මිල ගණන් මේ වසර අග වනවිට 50%ට වඩා වැඩි වනු ඇතැයි අපේක්ෂා කරන බව ලෝක බැංකුව පවසයි. මේ වසරේ ආහාර මිල ගණන් තවත් 22.9%කින් ඉහළ යනු ඇති අතර තිරිඟු මිල 40%කින් ඉහළ යනු ඇති බව ඒ වාර්තාවේ දැක්වේ. ඒ අනුව 2024 අවසානය වනවිට භාණ්ඩ මිල ගණන් ''ඓතිහාසික වශයෙන් ඉහළම මට්ටමක'' පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව ලෝක බැංකුව පවසයි. අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මේ ඉහළ මිල ගණන් අඩු ආදායම්ලාභී පවුල්වලට දැඩි ලෙස බලපානු ඇතැයි යන බිය ඔවුන් පළකර ඇත.

එයින්  දරිද්‍රතාවය අඩු කිරීමේ ප්‍රගතිය ඇනහිටීමට ඉඩ ඇති අතර  ආහාර සහ බලශක්ති මිල ගණන්වල වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස සැලකිය යුතු මානව හා ආර්ථික හානියක් සිදුවිය හැකි බව ලෝක බැංකුවේ මෙම වාර්තාවේදී එහි  අධ්‍යක්ෂවරයකු වන අයිහාන් කෝස් පෙන්වා දෙයි.