2022 මැයි 01 වන ඉරිදා

රුසියානු කුරුමානම නැගෙනහිරට!

 2022 මැයි 01 වන ඉරිදා, පෙ.ව. 10:00 156

දශක ගණනාවක් තිස්සේ රුසියානු හමුදා රඳවා තබා ඇති, මොල්දෝවා ජනරජය තුළින් බිඳී ගිය ප්‍රදේශයක් වන ට්‍රාන්ස්නිස්ට්‍රියාවේ ඇතැම්  ප්‍රදේශවල පිපිරීම් මාලාවක් සිදුවී ඇත. මේ පිපිරීම් මොස්කව්හි යුද්ධය ඉක්මනින්ම යුක්‍රේනයෙන් ඔබ්බට ගොස් නැගෙනහිර යුරෝපයේ නව අඩවියකට පිවිසෙන බවට භයංකාර සලකුණක් ලෙස බටහිර විචාරකයන් පෙන්වා දෙයි.

ට්‍රාන්ස්නිස්ට්‍රියානු අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අඟහරුවාදා අලුයම සිදුවු  පිපිරීම් හේතුවෙන්  ඒරට  ගුවන් විදුලි කුලුනු දෙකකට හානි සිදුවී ඇති බවය. සඳුදා, ට්‍රාන්ස්නිස්ට්‍රියාවේ අගනුවර වන Tiraspol හි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ගොඩනැගිල්ල අසල පිපිරීම් මාලාවක් ඇසුණි.

යුක්රේනය මෙම පිපිරීම් විස්තර කළේ රුසියානු ආරක්ෂක අංශ විසින් සැලසුම් කරන ලද කුපිත කිරීමක් ලෙසය. 

මෝල්දෝවාවට මායිම්ව පිහිටි යුක්රේනයේ නිරිතදිග කෙළවර හුදෙකලා කර බාහිර සබඳතා කපා හැරීමට මොස්කව් උත්සහ කරන බවට චෝදනා කරන යුක්රේනය  ඩයිනෙස්ටර් ගඟේ මෝය හරහා වූ පාලමකට කෲස් මිසයිල ප්‍රහාරයක් එල්ලකිරිම  සම්බන්ධයෙන් රුසියාවට දොස් පවරා තිබුණි. රුසියානු නිලධාරින් එය නොසලකා හැර  තිබුණි. එසේ වුවද මෙම පිපිරීම් සහ එම කලාපය සම්බන්ධයෙන් රුසියානු නිලධාරීන් විසින් කර ඇති නොසැලකිලිමත් අදහස් දැක්වීම් මෝල්දෝවාවේද දැඩි කනස්සල්ලට හේතු වී තිබේ.

මෝල්දෝවා සහ යුක්රේන දේශසීමා තුළ මතභේදයට තුඩු දී ඇති මෙම භූමිය රුසියානු ජනාධිපති ව්ලැඩිමීර්ගේ නවතම යුද උපාය මාර්ගයට ඇතුළත්ව ඇති බවත් දකුණු යුක්රේනය අල්ලා ගැනීමේ හමුදා සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී ට්‍රාන්ස්නිස්ට්‍රියාව දක්වා විහිදෙන ගොඩබිම් කොරිඩෝවක් මෙයින් විවෘත කරනු ඇතැයි ජ්‍යෙෂ්ඨ රුසියානු අණ දෙන නිලධාරියෙකු පෙන්වා දී ඇත.