2022 අප්‍රේල් 24 වන ඉරිදා

අවසාන ඉරණම තීන්දු කරන ඩොන්බාස් සටන!

 2022 අප්‍රේල් 24 වන ඉරිදා, පෙ.ව. 10:00 270

යුක්රේනයේ කියෙව් අග නගරය වෙත යොමු වූ ඔවුන්ගේ ප්‍රහාරයන් රැසක්ම ව්‍යර්ථ වීමෙන් සති කිහිපයකට පසු, පුටින්ගේ අණදෙන නිලධාරීන් දැන් 2014 සිට මොස්කව් හිතවාදී බෙදුම්වාදීන් විසින් අර්ධ වශයෙන් පාලනය කර ඇති ඩොන්බාස් කලාපය කෙරෙහි ඔවුන්ගේ යුද බලය යොමුකර ඇත.

රුසියාව විසින් කියෙව් අවට ප්‍රදේශවලින් බොහෝ හමුදා ඉවත්කර ගැනීමෙන් පසු මෑත සතිවල නැගෙනහිර යුක්රේනයේ සටන් තීව්‍ර වී ඇත. මෙහිදී ප්‍රධාන නැගෙනහිර නගර කිහිපයකට බෝම්බ හෙලීමෙන් ඇඟවෙන්නේ යුද්ධය නව අදියරකට ඇතුළු වී ඇති බවයි. යුක්රේන ජනාධිපති Volodymyr Zelensky මෙම නව රුසියානු ප්‍රහාරය ''ද බැට්ල් ඔෆ් ද ඩොන්බාස්'' ලෙස නම් කළේය.

රුසියාව ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් ප්‍රදේශ අත්පත් කර ගැනීමේ උත්සාහයන් දෙගුණ කිරීමත් සමඟ යුක්රේනයේ යුද්ධය දැන් නව අදියරකට පිවිස රටේ නැගෙනහිර ප්‍රදේශයට යළිත් ස්ථානගත වෙමින් ඇත. යුක්රේන හමුදාපතිවරුන් චෝදනා කළේ රුසියානු ගුවන් යානා මැරියුපෝල්හි පොළව යට සැඟවී සිටින අවසන් හමුදා සහ සිවිල් වැසියන් මරා දැමීම සඳහා (බන්කර් බස්ටර්) පවා හෙළන බවයි.

එතැන් සිට රුසියාව යුක්රේනයේ නැගෙනහිර පෙරමුනු දිගේ සිය සම්පූර්ණ ප්‍රහාරය වේගවත් කළේය. මේ සමග නැගෙනහිර යුක්රේනයේ නගර සහ උපනගර කිහිපයකට අඟහරුවාදා රාත්‍රියේ ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල විය. යුක්රේන මාධ්‍ය ආයතන සහ ටෙලිග්‍රාම් නාලිකා ඩොනෙට්ස්ක් ප්‍රදේශයේ ඉදිරි පෙළ දිගේ පිපිරීම් මාලාවක් වාර්තා කළ අතර, සවස් යාමය පුරාම Marinka, Slavyansk සහ Kramatorsk හි ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල විය. යුක්රේනයේ ඊසාන දෙසින් Kharkiv, දකුණේ Mykolaiv සහ ගිනිකොන දෙසින් Zaporizhzhia හි පිපිරීම් ඇසුණු බව ප්‍රාදේශීය නිලධාරීන් සහ මාධ්‍යද පැවසීය.

රුසියාව යුක්රේන අගනුවර අල්ලා ගැනීමට අපොහොසත් වීමෙන් සති දෙකකට වැඩි කාලයකට පෙර Kyiv වෙතින් පසුබැස ගිය අතර, එහි දි අසාර්ථකවු  ආක්‍රමණය නැවත වෙනත් තැනකින් ආරම්භ කර එහි පළමු ප්‍රධාන යුද පිටියේ ජයග්‍රහණය ලබා ගැනීමේ ප්‍රයත්නය සඳහා නැඟෙනහිර ප්‍රදේශයේ විශාල හමුදා රුස් කිරීමට දින කිහිපයක් ගත කර තිබුණි.

මේ අතර බොහෝ සෙබළුන් කාර්කිව් සිට දකුණට සැතපුම් 70ක් පමණ දුරින් ඩොනෙට්ස් ගඟ හරහා විහිදෙන නගරයක් වන ඉසියුම් වෙත රැස්කරනු ලැබ ඇත්තේ  ඉදිරියේදී එතැනින් දකුණට මරියුපෝල් දෙසට යුද්ධය තල්ලු කිරීමක් සඳහාය. මේ ඇරුඹුණු සටන යුක්රේනයේ මෙන්ම සමහරවිට රුසියාවේද අවසාන ඉරණම තීරණය කිරීම සඳහා තීරණාත්මක ලෙස බලපාන බව විචාරකයන් සලකනු ලැබේ.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00