2022 අප්‍රේල් 03 වන ඉරිදා

හොඳම නළුවාගේ නරකම ආදර්ශය!

 2022 අප්‍රේල් 03 වන ඉරිදා, පෙ.ව. 10:00 25

හොඳම නළුවා ලෙස පළමුවරට සම්මානයට පාත්‍ර වූ සුප්‍රකට හොලිවුඩ් නළු විල් ස්මිත් 94 වැනි ඔස්කාර් සම්මාන උලෙළේ නිවේදන කටයුතු කරමින් සිටි තවත් සුප්‍රකට ප්‍රහසන නළුවකු වන ක්‍රිස් රොක්ට අතුල් පහරක් එල්ල කිරීම මෙවර එම උලෙළේ අප්‍රසන්න ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත් විය.

වේදිකාව මත සිට නිවේදන කටයුතු කරමින් සිටි ක්‍රිස් රොක් ස්මිත්ගේ බිරිඳ වන පින්කට් ස්මිත්ගේ කොණ්ඩා මෝස්තරය සම්බන්ධයෙන් කී විසුළු කතාවකින් දැඩි කෝපයට පත්වූ විල් ස්මිත් වේදිකාවට ගොඩ වී රොක්ට වේගවත් අතුල් පහරක් එල්ල කිරීම නිසා දැන් ආන්දෝලනාත්මක පරීක්ෂණයක්ද ඇරැඹී තිබේ. මුල් අවස්ථාවේ පහරදීමද විහිළුවක් සේ පෙනුනද එය විහිළුවක් නොවන බව පසක් වන්නේ, පහර දීමෙන් පසු යළි සිය අසුන වෙත ගොස් ස්මිත් හඩ නඟා කළ ප්‍රකාශයත් සමගයි.

ක්‍රිස් රොක්ට අතුල් පහරක් එල්ල කිරීමෙන් පසු යළි සිය අසුන වෙත පැමිණි විල් ස්මිත් ''නුඹේ වැඩකට නැති විහිළුවලට මගේ බිරිය ඈඳාගන්න එපා'' යැයි මහ හඬින් මොර දුන්නේය. ඒ මොහොතේ ඔහුගේ බිරියද අසල අසුන් ගෙන සිටියාය.

කෙසේ වෙතත්, හොඳම නළුවාට හිමි සම්මානය ලැබීමෙන් අනතුරුව සම්මාන රාත්‍රිය අමතමින්, ස්මිත් සමාව ඉල්ලා සිටියේය. ඔහුගේ බිරිය මුහුණ දෙන රෝගී තත්ත්වයක් හේතුවෙන් කොණ්ඩය ඉවත්ව යාම නිසා ඇය සිය හිස බූ ගා තිබුණි. ඇය සම්බන්ධ කළ ප්‍රකාශයෙන් කිපුණු සාමාන්‍යයෙන් නිවුණු පුද්ගලයකු වන ස්මිත්ගේ හැසිරීම කා තුළත් විමතිය නැංවීමට සමත් විය. මේ නිසාම ඔහුට ඔස්කාර් සම්මානය අහිමිව යාමේ අවදානමද මතුවිය.