2022 මාර්තු 13 වන ඉරිදා

සම්බාධක තර කළොත් තෙල් මිල තව ඉහළට

 2022 මාර්තු 13 වන ඉරිදා, පෙ.ව. 10:00 93

බටහිර හා ඇමරිකාව යුක්‍රේනයට ආයුධ ලබාදෙමින් රුසියාවට එරහිව ආර්ථික සම්බාධක පැනවීම යුද්ධය ප්‍රකාශ කිරීමක් ලෙස සලකන බවත් එම සම්බාධක තවදුරටත් උත්සන්න කළහොත් තෙල් බැලරයක මිල ඩොලර් 300 දක්වා නංවන බවටත් පසුගියදා රුසියානු උප අගමැති Alexandre Novak මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි.

රුසියාව මෙම ප්‍රකාශය කර තිබෙනුයේ ඇමරිකාව විසින් රුසියානු තෙල් හා ගෑස්‌ අපනයනය සම්පූර්ණයෙන්ම නැවැත්වීමට යුරෝපා සංගමයට යෝජනා කිරීමට පිළිතුරු වශයෙනි. ඇමෙරිකාව මෙම බලපෑම සිදුකරනුයේ තෙල් නිෂ්පාදනය කරන ඉරානය හා වෙනිසියුලාවේ මදුරෝ සමග රහසේ සාකච්ඡා කරමින් බවටද විදෙස් මාධ්‍ය වාර්තා පලව තිබුණේ ඇමරිකානු දූත පිරිසක් වෙනිසියුලාවේ සිදුකරන ලද සංචාරයක් මුල් කර ගනිමිනි.

ලෝක ආර්ථිකය නැවත සක්‍රීය වන්නට වූයේ තෙල් හා ගෑස් මිල දැවැන්ත ලෙස වෙනස් වීමෙනි. ඒ අතර යුක්‍රේන-රුසියානු අර්බුදය විසින් ‌ලෝක තෙල් හා ගෑස් මිල තවත් උග්‍ර කරනුයේ සමස්ථ ලෝකයම දැඩි ආර්ථික අර්බුදයකට පත් කරමිනි. මෙම අර්බුදය ඉහළ යාමට හේතු වී ඇති තවත් කාරණයක් වනුයේ ඇමරිකාව විසින් නේටෝවහි බල පරාක්‍රමය ලොව පුරා ව්‍යාප්ත කරලීමේ ක්‍රියාදාමය තීවු කිරීම හේතුවෙනි. කෙසේ වෙතත් යුරෝපා සංගමයට තවදුරටත් ඇමරිකාවේ මෙම බලපෑම හමුවේ හිස නැවීම සිදුකළ නොහැකි වී ඇත්තේ යුරෝපයේ ප්‍රධාන තෙල් හා ගෑස් සපයන්නා රුසියාව වීම නිසාවෙනි.

මේ දක්වා යුරෝපා සංගමය විසින් රුසියාවට එරෙහිව සම්බාධක පනවා ඇත්තේ යම් සීමාවක් මත පදනම්වය. විශේෂයෙන් ජාත්‍යන්තර මූල්‍ය ගෙවීම් පහසු කරන swift තුළත් රුසියානු ගෑස්‌ හා තෙල් ගෙවීම් සිදුකරන ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක වන russe Gazprom හා Sberbank වෙත මෙම තහනම බලපෑමක් සිදුකර නොමැත. ඒ අතර බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා සඳහන් කරනු ලැබුවේ බ්‍රිතාන්‍ය බහුජාතික සමාගම්ද කළු සල්ලි සුදු කරන රටවල් හරහා රුසියාව සමග මුදල් ගනුදෙනු සිදුකරනු ලබන බවයි. ඒ අන්දමට යුරෝපයේ බොහෝ රටවල් රුසියාව සමග අතයට ගනුදෙනු තවමත් පවත්වාගෙන යති.

මෙබඳු පසුබිමක් තුළ ඇමරිකාව හුදෙකලා වෙමින් පවතින අතර යුරෝපයේ ගෑස් හා තෙල් අර්බුදය විසඳීම සඳහා ඇමරිකානු දූත පිරිසක් වෙනිසියුලාවේ මදුරෝගේ සමාජවාදී රජය සමග රහස් සාකච්ඡාවක් ආරම්භ කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණි. මේ සාකච්ඡාවට වෙනිසියුලාවේ විපක්‍ෂයේ පිරිසක්ද සහභාගී වී ඇති බවද වාර්තා විය. මෙම සාකච්ඡා වලින් අනතුරුව වෙනිසියුලා ජනාධිපති නිකොලා මදුරෝ මාධ්‍ය වෙත පවසා ඇත්තේ අදාළ සාකච්ඡා ගෞරවාත්මකව, සුහදව හා රාජතාන්ත්‍රිකව තම ජනාධිපති මන්දිරයේදී පැය දෙකක කාලයක් පුරා සිදුවූ බවයි. 2019 සිට වෙනිසියුලාවට එරෙහිව පැනවූ ආර්ථික සම්බාධකවලට පෙර එරට තෙල් අපනයනයෙන් 90%ක් යවනු ලැබුවේ ඇමරිකානු වෙළඳපළට වන අතර එය නැවත බලාත්මක කරගැනීම තම අරමුණ බව ඇමරිකාව විසින්ද තහවුරු කරනු ලැබ ඇත.

 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00