2022 පෙබරවාරි 19 වන සෙනසුරාදා

අමෙරිකාවේ පැසිෆික් කුරුමානම

 2022 පෙබරවාරි 19 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 258

රුසියාව සහ යුක්රේනය අතර යුද උණුසුම දෙස සෙසු ලෝකයේ අවධානය යොමුව පවතිද්දීම අමෙරිකාව චීනයේ ක්‍රියාකාරකම්වලට එරෙහිවද උපාය මාර්ග අරඹා තිබේ.

ඒ අනුව පැසිෆික් කලාපයේ නැගී එන චීන බලයට මුහුණදීම සඳහා පැසිෆික් දූපත් කලාපයේ රටවල් සමඟ සිය සබඳතා වර්ධනය කර ගැනීමට ඇමෙරිකාව කටයුතු අරඹා ඇත. ඒ අනුව මෙම කලාපයේ රටවල් සමග ආයෝජන අවස්ථා වර්ධනය කර ගැනීමටත්, හැකි සෑම අංශයකින්ම සබඳතා පුළුල් කර ගැනීමටත් කටයුතු කරන බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සඳහන් කර තිබේ.

අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ෆීජී දූපත්හි පැවති හමුවක් අමතමින් සඳහන් කර ඇත්තේ, පැසිෆික් කලාපීය සහකරුවන් සමග වන සහයෝගය වර්ධනය  කර ගැනීමට අමෙරිකාව කටයුතු කරමින් සිටින බවයි.

අමෙරිකා එක්සත් ජනපදය ගිනිකොණ දිග ආසියාවේ සහ පැසිෆික් දූපත් කලාප‍යේ රටවල අලුතින් තානාපති කාර්යාල සහ ‍කොන්සල් කාර්යාල විවෘත කිරීමට කටයුතු කරන බව ඉන්දු පැසිෆික් කලාපයේ අමෙරිකානු උපාය මාර්ග නමින් පසුගිය සතියේදී නිකුත් කළ වාර්තාවක් මගින්ද අනාවරණය කර තිබේ.

එසේම මීට සති කිහිපයකට පෙර මාධ්‍ය වෙත නිකුත් කෙරුණු සී.අයි.ඒ. සංවිධානයේ වාර්තාවක දැක්වුනේද අමෙරිකාව මැදපෙරදිග කලාපය වෙත දක්වන උනන්දුව අඩුකො‍ට නැගී එන චීන බලයට මුහුණදීම සඳහා ගිණිකොණ දිග ආසියානු කලාපයේ සහ පැසිෆික් කලාපයේ බලය වර්ධනය කර ගැනීමට සූදානම් වන බවයි.