2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා

බලශක්ති අර්බුදයට එංගලන්තයෙන් කෘත්‍රිම සූර්යයෙක්!

 2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 127

එංගලන්තය ලෝක බලශක්ති අර්බුදයට අලුත්ම විසඳුමක් සොයාගනු ලැබ තිබේ. ඒ කෘත්‍රිම සුර්යයෙක් ලෙසද හැඳින්වෙන න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයකි. මෙම (කෘත්‍රිම සූර්ය) න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාකාරකය තත්ත්පර පහකට මෙගාජූල් 59ක ශක්තියක් මුදා හැරීමෙන් නව ලෝක වාර්තාවක් පිහිටුවා ඇත. එය ලෝකය (අසීමිත පිරිසුදු බලශක්තිය) වෙත සමීප කරවා ඇත. මෙලෙස විලයන බලය උපයෝගී කර ගැනීමෙන් විද්‍යාඥයින්, බලාපොරොත්තු වන්නේ එලෙස අසීමිත පිරිසුදු ශක්තියක් ලබාදෙන ප්‍රභවයක් නිර්මාණය කිරීමයි.

1978දී ඔක්ස්ෆර්ඩ් නගරයෙන් පිටත කාර්මික වතුයායක බ්‍රිතාන්‍යය ඒකාබද්ධ යුරෝපීය විලයන ප්‍රතික්‍රියාකාරකය (JET) ගොඩනඟන ලද දා සිට එම ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක්ව සිටියේය.

දැන් මේ නවතම (කෘතිම සූර්ය) න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය එහි මුළු ශක්තිය ලෙස මෙගාජූල් 59ක් නිකුත් කර ඇති අතර එය මෙගාවොට් 11කට වඩා වැඩිය. ඇත්තෙන්ම එය විශාල බලශක්ති නිමැවුමක් නොවේ - ජලය කේතල 60ක් පමණ තම්බා ගැනීමට පමණක් ප්‍රමාණවත් වේ. නමුත් එය මීට වසර 25 කට පෙර පිහිටුවන ලද විලයන වාර්තාවට වඩා  දෙගුණයකටත් ඉහළ අගයකි. මෙයටත් වඩා විශාල විලයන ප්‍රතික්‍රියාකාරකයක් දැනට ප්‍රංශයේ ඉදිවෙමින් පවතී.