යුරෝපයට අමතර අමෙරිකානු හමුදා භට පිරිස් යෙදවීමට තීරණය කර ඇතැයි පෙන්ටගනය කියා ඇත. ඒ අනුව අමෙරිකානු හමුදා භට පිරිස් දෙදහසක් පෝලන්තයට සහ ජර්මනියට යැවීමට තීරණය කර ඇති අතර, තවත් හමුදා භටයින් දහසක් රුමේනියාවට යැවීමට තීරණය කර ඇත.
මේ අමතර හමුදා භට පිරිස් යෙදවීමේ අරමුණ සිය මිත්‍ර පාක්ෂික රටවල් ආරක්ෂා කිරීම බව අමෙරිකාව පෙන්වා දෙයි. අමෙරිකාව මෙම තීරණය ගෙන ඇත්තේ යුක්රේන දේශසීමා අර්බුදය ක්‍රමිකව වර්ධනය වෙමින් ඇති පසුබිමකදීය. ඇමෙරිකාව, ජර්මනිය, පෝලන්තය සහ රොමේනියාව ‘උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය’ හෙවත් ‘නේටෝ’ සාමාජික රටවල්ය. ඇමෙරිකන් හමුදා කඳවුරු මෙම රටවල පිහිටුවා ඇත.
යුක්රේනය මුල්කොට ගනිමින්, ඇමෙරිකාවත් රුසියාවත් අතර යුද උණුසුමක් නිර්මාණය වී ඇත්තේද යුක්රේනය ‘නේටෝ’ සංවිධානයට හිතවත් ආකාරයට කටයුතු කිරීම සහ එය රුසියාවේ ආරක්ෂාවට තර්ජනයක් වීමය. ඇමෙරිකාව, කැනඩාව ඇතුළු යුරෝපා රටවල් එක් වී ‘නේටෝ’ සංවිධානය පිහිටුවා ගැනීම සිදුවූයේද රුසියාවෙන් එල්ල වන තර්ජන සහ අභියෝග පිටුදැකීමේ අරමුණ ඇතිවය.
පැරුණි සෝවියට් දේශයට අයත් යුක්රේනය, අද යුරෝපා සහ බටහිර රටවලට සමීප වී සිටී. යුක්රේනය, නේටෝ සාමාජිකයකු නොවන, නේටෝ සංවිධානය සමඟ සමීප සබඳතා පවත්වන, නේටෝ සාමාජිකත්වය අපේක්ෂාවෙන් සිටින රටකි.
රුසියන් ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගේ අණ පරිදි මාස කීපයක පටන් රුසියන් සොල්දාදුවන් දස දහස් ගණනක් යුක්රේන රුසියා දේශසීමාවේ රැඳී සිටින්නේ යුක්රේනය නේටෝ සංවිධානය සමඟ කටයුතු කිරීම රුසියාවේ ආරක්ෂාවට තර්ජනයක් බව පෙන්වා දෙමිනි. ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් අනතුරු ඇඟවීම් කර ඇත්තේ, රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට සූදානම් බවත්, එහෙයින් යුක්රේනයට සහාය පළ කිරීමක් ලෙස ජර්මනියට, රොමේනියාවට සහ පෝලන්තයට හමුදා යැවීම සිදුකරන බවත්ය. මේ අතර රුසියානු ජනාධිපති පුටින් පවසා ඇත්තේ, යුක්රේනය ආක්‍රමණය කිරීමට රුසියාවේ කිසිදු අදහසක් නොමැති නමුත්, යුක්රේනය මුල්කොට ගනිමින් රුසියාව යුද්ධයකට පොළොඹවා ගන්නට ඇමෙරිකාව උත්සාහ ගන්නා බවය.
යුක්රේනය සහ නේටෝ සංවිධානය අතර සබඳතා වහා නැවැත්වුවහොත්, යුක්රේන රැසියා දේශසීමාවේ රඳවා සිටින සොල්දාදුවන් ඉවත්කර ගන්නා බව රැසියන් ජනාධිපති පුටින් පවසා ඇති නමුත් ඇමෙරිකාව ඊට විරෝධය පළකර ඇත.