2022 පෙබරවාරි 05 වන සෙනසුරාදා

ගිනියා-බිසාවු වැරදුණු කුමන්ත්‍රණය!

 2022 පෙබරවාරි 05 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 122

ගිනියා-බිසාවු හි ජනාධිපති උමාරෝ සිසෝකෝ එම්බාලෝ බලයෙන් පහ කිරීමට ගත් හමුදා කුමන්ත්‍රණය අසාර්ථක විය. ඔහු ජාතිය අමතා සන්සුන් වන ලෙස රට වැසියන්ගෙන් ඉල්ලා සිටියේය. කුමන්ත්‍රණය වැළැක්වීමට පෙර ආරක්ෂක හමුදා අපරාධකරුවන් යැයි කියනු ලබන අය සමඟ පැය පහක් වෙඩි හුවමාරුවක නිරත වූ බව එම්බාලෝ පැවසීය.මේ අසාර්ථක ප්‍රයත්නයෙන් ආරක්‍ෂක හමුදාවේ “බොහෝ” සාමාජිකයින් මියගිය නමුත් තුවාල ලැබූ සංඛ්‍යාව තහවුරු කර නොමැති බව ඔහු පැවසීය. කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද ජනාධිපතිවරයා පැවසීය.

මාලිගාවේ සතිපතා රැස්වීමක් සඳහා රැස්ව සිටි ඔහු සහ ඔහුගේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් මරා දැමීමට කුමන්ත්‍රණයේ අපරාධකරුවන් අදහස් කළ බව තමා විශ්වාස කරන බව එම්බාලෝ කීය. “ඉතා හොඳින් සැලසුම් කරන ලද” කුමන්ත්‍රණ ප්‍රයත්නයට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ දූෂිත නියෝජිතයන්ද සම්බන්ධ වූ බව ඔහු පැවසීය. ගිනියා-බිසාවු හි නොසන්සුන්තාව ඇති වූයේ ජනවාරි 24 වැනි දින බුර්කිනා ෆාසෝහි හමුදා කුමන්ත්‍රණයකින් පසුවය. බුර්කිනා ෆාසෝ හමුදාව කුමන්ත්‍රණයකින් බලය අල්ලාගෙන, ජනාධිපති රඳවා තබාගෙන රජය විසුරුවා හැරියේය. 1974දී රට පෘතුගාලයෙන් නිදහස ලබා ගත් දා සිට ගිනියා-බිසාවු හි ඉතිහාසය හමුදා කුමන්ත්‍රණ කිහිපයකින් සලකුණු කර ඇත. මෙම ගැටුම් රටේ යටිතල පහසුකම් සහ ආර්ථිකය විනාශ කර ඇති අතර එය ලෝකයේ දුප්පත්ම රටවල් අතරට පත්කර තිබේ.