බටහිර අප්‍රිකාවේ අයිවරි කෝස්ට් රාජ්‍යය වෙතින් තෙල් නිධානයක් මතුව ඇත. ඒකාබද්ධ තෙල් කැණීමකින් ඒ රටින් ඛනිජ තෙල් හා ගෑස් නිධියක් සොයා ගැනීමට සමත් වී තිබේ. මෙම සොයාගැනීම මගින් තෙල් බැරල් බිලියන 2ක් හා ඝණ අඩි බිලියන 2400ක ගෑස් සංයුතියක් නිපදවා ගැනීමට හැකිවන බව කියයි.
2023 වසරේ සිට ඒවා ලෝක වෙළඳපළට යැවීමට එරටට හැකිවනු ඇත. මේ දක්වා කොකෝවා, කෝපි, කපු, උක් හා රටකජු වැනි කෘෂි නිෂ්පාදන මගින් පමණක් ලෝක වෙළඳපලේ ඉල්ලුම සැපයූ අයිවරි කෝස්ට් රාජ්‍යය 2023 සිට තෙල් නිපදවන රටක් බවට පත්වීමෙන් පසු ඔපෙක් සංවිධානයේ සාමාජිකත්වයද හිමිවීමට නියමිතය.
මෙම නවතම සොයාගැනීමෙන් පසුව ලෝකයේ සුප්‍රසිද්ධ තෙල් සමාගම් වන total, Tullowoil විසින් සිදුකරන ලද පරීක්ෂණ වලින් නිගමනය කර ඇත්තේ අයිවරි කෝස්ට්හි තවත් තෙල් නිධි 51ක් පවතින බවයි.
මෙම ඓතිහාසික සොයා ගැනීම “Baleine” (තල්මහ) ලෙස හඳුන්වා ඇති අතර 2023 වසරේ සිට දිනකට තෙල් බැරල් 12000ක් හා ගෑස් ඝන අඩි මිලියන 17,500ක් නිපදවීමට නියමිතය. 2026 වනවිට තෙල් බැරල් 75000 සිට බැරල් ලක්‍ෂය දක්වා වැඩි කරනු අතර මෙම තෙල් ගවේෂණය සඳහා ඉතාලියේ ENI සමාගම ඩොලර් බිලියන 11ක් ආයෝජනය කර ඇත. එහිදී අයිවරි කෝස්ට් රාජ්‍යයට හිමිවන ලාභයේ ප්‍රතිශතය 17%ක් ලෙස අදාළ ගිවිසුමේ සඳහන් වේ. සමස්ථ ගවේෂණය සඳහා ENI සමාගම වැය කළ මුදල ගෙවීමෙන් පසුව ගිවිසුම් ප්‍රකාරව එරට රජයට 52%ක් හිමිවනු ඇති අතර 48%ක් අදාළ සමාගමට හිමිවනු ඇත.
රටේ විදුලි බලාගාර සක්‍රීය කිරීම සඳහාද මෙම නව ගෑස් භාවිතා කරනු ඇති අතර ඉන් පසුව විදුලිය නිපදවීම සඳහා දැනට භාවිතා කරනු ලබන ගල්අඟුරු බලාගාර වසා දැමීමටද දෙපාර්ශ්වය එකඟතාවයට පැමිණ ඇත. මෙම තීරණය පසුගියදා ලෝකයේ අඟුරු බලාගාර ඉදිකිරීම අවසන් කිරීම සඳහා glasgow ජාත්‍යන්තර සම්මුතිය මත පදනම්ව ගනු ලැබූ බව දෙපාර්ශ්වය මාධ්‍ය වෙත සඳහන් කර සිටියහ.