2022 ජනවාරි 01 වන සෙනසුරාදා

ඊජිප්තු මමියක් රහස් හෙළි කරයි

 2022 ජනවාරි 01 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 471

ඊජිප්තුව පාලනය කළ පාරාවෝ පිළිබඳ බොහෝ රහස් හෙළි කරමින් පළමුවරට ඊජිප්තු පර්යේෂකයන් පළමුවැනි අමෙන්හොටෙප් රජුගේ මමිය ''ඩිජිටල් ආකාරයෙන් දිගහැර'' ඇත.

මෙම මමිය හික්සෝස් යටත් කරගත් සහ පැරණි ඊජිප්තු ශිෂ්ටාචාරයේ නව රාජධානියේ නිර්මාතෘ වූ පළමු වැනි අහ්මෝස් රජුගේ පුත්‍රයා වන පළමු වැනි අමෙන්හොටෙප්ගේ මමියයි. ඩිජිටල් ආකාරයෙන් මමිය විවෘත කිරීමෙන් ඊජිප්තුව පාලනය කළ පාරාවෝ පිළිබඳ බොහෝ රහස් හෙළිකර ගන්නට හැකිව ඇත.

ඩිජිටල් විශ්ලේෂණයෙන් පෙන්නුම් කළේ පළමු වැනි අමෙන්හොටෙප්ගේ මුහුණ ඔහුගේ පියා වන පළමු වැනි අහ්මෝස්ගේ ස්වරෑපයට සමාන බවයි. රජු වයස අවුරැදු 35දී මියයන විට ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවූ බව විශ්වාස කෙරේ. මන්දයත් ඔහුගේ මරණයට හේතුව පෙන්නුම් කරන කිසිදු රෝගයක් හෝ තුවාලයක් මමියට නොපෙන්වන බැවිනි.

ටූටන්කාමන් සහ දෙවැනි රැම්සෙස් වැනි නූතන රාජධානිවල බොහෝ පාලකයන්ගේ මොළය ඉවත්කර එම්බාම් කිරීමේ ද්‍රව්‍ය සහ දුම්මල හිස් කබල තුළ තැන්පත් කළාක් මෙන් නොව, පළමුවැනි අමෙන්හොටෙප් රජුගේ මොළය මමිකරණය කිරීමේ ක්‍රියාවලියේදී ඉවත් නොකර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

පළමුවැනි අමෙන්හොටෙප්ගේ මමිය 1881දී ලක්සෝර් හි ඩීර්-එල් බහ්රි හි රාජකීය ගබඩාවේ තිබී සොයාගන්නා ලදී. මන්දයත් 21 වැනි රාජවංශයේ පූජකයන් විසින් සොහොන් සොරකම්වලින් ආරක්ෂා කර ගැනීම සඳහා පෙර සිටි බොහෝ රජවරුන් සහ බිසෝවරුන්ගේ මමී නැවත තැන්පත් කර සඟවා තැබූහ.

පළමුවැනි අමෙන්හොටෙප් රජුගේ මමිය මත ඇති එතුම් ඩිජිටල් ආකාරයෙන් ඉවත් කිරීමට පර්යේෂකයන් විසින් උසස් එක්ස් කිරණ තාක්ෂණයක්, පරිගණක ගත ටොමොග්‍රැෆි (CT) සහ උසස් පරිගණක මෘදුකාංග වැඩසටහන් භාවිත කර ඇති බව පුරාවස්තු කටයුතු පිළිබඳ ඊජිප්තු රාජ්‍ය අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කර ඇත.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00