2021 දෙසැම්බර් 25 වන සෙනසුරාදා

ලෝකේ ලොකුම දික්කසාද වන්දිය!

 2021 දෙසැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 234

ලෝකේ ලොකුම දික්කසාද වන්දිය ගෙවන ලෙස ලන්ඩන් නුවර මහාධිකරණය ඩුබායි අගමැති හට නියම කළේය.
ලොව වඩාත්ම ධනවත් පුද්ගලයකු ලෙස සැලකෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගමැති ශේක් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්තුම්ගේ සහ හයා බින්ට් අල් හුසේන් කුමරියගේ දික්කසාද නඩුව පෙරේදා සමථයකට පත්වීමත් සමඟ මේ මහා වන්දි මුදල ගෙවීමට තීන්දු විය.

මේ ඓතිහාසික නඩු තීන්දුව ප්‍රකාශයට පත්කළ ලන්ඩන් නුවර මහාධිකරණයේ විනිසුරු පිලිප් මුවර් හයා කුමරියට ගෙවන ලෙස අල් මක්තුම්ට නියම කළ වාර්තාගත වන්දි මුදල පවුම් මිලියන 550 ඉක්මවයි. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 14,800කට ආසන්න මුදලකි.

අල් මක්තුම් සිය බිරින්දෑවරුන් 6 දෙනා අතුරින් ලාබාලතම බිරිය වූ ජෝර්දානයේ හුසේන් රජුගේ සුරූපි දියණිය හයා කුමරිය ෂරියා නීතිය යටතේ දික්කසාද කළේ 2019 වසරේ අප්‍රේල් මාසයේ 15 වැනිදාය. හුසේන් රජුගේ 12 වැනි අනුස්මරණ යෙදී තිබුණේද එදිනටය. වසර 16ක යුග දිවියෙන් සිය සැමියා තමා දික්කසාද කළ බව හයා කුමරිය ඒ මොහොතේ නොදැන සිටි අතර, එය දැනගත් විගස ඇය සිය 14 හැවිරිදි දියණිය ජලීලා සහ 9 හැවිරිදි පුතු සයිඩ් කැටුව එංගලන්තයේ පිහිටි ඔවුන්ගේ මන්දිරය බලා පිටත්ව ගියාය. එදින සිට වරින්වර අල් මක්තුම් විසින් ඇයට විවිධාකාරයේ පීඩාවන් සිදුකළ බවත්, මරණ තර්ජනද එල්ල කර ඇති බවත් නඩු විභාගයේදී අනාවරණය විය.

හයා කුමරියට ගෙවීමට නියම කළ මුදලින් පවුම් මිලියන 251ක් ඇගේ තනි භුක්තියට හිමිවන අතර, තවත් පවුම් මිලියන 290ක් දරැවන් දෙදෙනාගේ අනාගතය වෙනුවෙන් ගෙවීමට සිදුවනු ඇත. දික්කසාදය නිසා ඇයට අහිමි වූ රන් භාණ්ඩ ඇතුළු වෙනත් කණකර ආයිත්තම් වෙනුවෙන් පවුම් මිලියන 13.5ක මුදලක් ගෙවීමටද විනිසුරුවරයා අල් මක්තුම්ට නියම කර තිබේ. හයා කුමරිය සතු සියලු ආභරණවල වටිනාකම පවුම් මිලියන 20ක් බව වාර්තාවේ.

හයා කුමරිය අසුන් පැදවීමේ ශූරියෙකි. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියකි. දැන් 47 හැවිරිදි වියෙහි පසු වන ඇය දෙදරු මවකි.