ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් බිපින් රාවත් හෙලිකොප්ටර් අනතුරකින් මිය ගියේය.
ඉන්දීය ප්‍රභුන් ගමන් ගන්නා හෙලිකොප්ටර බලගණයට අයත් එම්.අයි.17 හෙලිකොප්ටරයක් පසුගිය 08දා දහවල් 12.20ට පමණ තමිල්නාඩුවේදී කඩාවැටී අනතුරට ලක්විය. ඒ, නවදිල්ලි ඉන්දීය ගුවන් හමුදා මූලස්ථානයෙන් ගුවන්ගතව තමිල්නාඩුවේ සුලුර් දක්වා පියාසර කරමින් තිබියදීය. යානය සුලුර්හි ගොඩබැස්සවීමට විනාඩි 10ක් පමණ තිබියදී මෙම අනතුර සිදුව තිබේ.
අනතුරට ලක්වන අවස්ථාවේ 63 හැවිරිදි ජෙනරාල්වරයා සහ ඔහුගේ බිරිය, උසස් හමුදා නිලධාරීන්, ගුවන් කාර්ය මණ්ඩලයේ 05 දෙනෙකු ඇතුළු 14 දෙනෙකු යානයේ සිට තිබේ. රාවත් මහතා දිල්ලියේ සිට පැමිණ ඇත්තේ වෙලින්ටන්හි පිහිටි ආරක්ෂක සේවා විද්‍යාලයේ දේශනයක් පැවැත්වීම සඳහායි.
ඉන්දීය ගුවන් හමුදාවට අයත් මේ හෙලිකොප්ටර් යානය හදසියේම කඩා වැටී ගිනිගෙන විනාශ වී ඇති අතර, ගිනි ගැනීමට ලක් වූ හෙලිකොප්ටර් යානයේ දුමාරය අවට පරිසරය වසා පැතිර ගිය බවත්, ගින්න මැඩපැවැත්වීමට ප්‍රදේශවාසීන් දැඩි උත්සාහයක නිරත වූ බවත් වාර්තා වේ.
අනතුරින් 13 දෙනෙකු මියගොස් ඇතැයි තහවුරු කෙරුණු අතර තුවාල ලබා සිටින පුද්ගලයාද සියයට 90ක පමණ පිළිස්සුම් තුවාල සහිතව සිටින බව වාර්තා වී ඇත.
අනතුරට හේතුව මෙතෙක් සොයාගෙන නැති අතර, එම හෙලිකොප්ටරයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ගමන් ගත් බව වාර්තා වී ඇත්තේ අනතුරින් පසුවය. මේ අනතුර පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමට ඉන්දීය ගුවන් හමුදාව මේ වනවිටත් කටයුතු කර ඇත. ජෙනරාල් බිපින් රාවත් ඉන්දියාවේ පළමු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා වන අතර, ඔහු එම තනතුරට පත් වූයේ 2019 වසරේ ජනවාරියේදීය. ඔහු අභිනවයෙන් පත්කළ හමුදා සම්බන්ධතා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙසද කටයුතු කළේය.
අනතුරට ලක්ව ඇත්තේ Mi-17V5 වර්ගයේ හෙලිකොප්ටරයකි. මේ යානය රුසියාවේ නිෂ්පාදනයක් වන අතර, එය සැලකෙන්නේ ලොව අති නවීනතම හෙලිකොප්ටරයක් ලෙසටය. රුසියානු ගුවන් යානා මිලදී ගෙන ඇති ඉන්දියාව පසුගියදා රුසියානු ජනාධිපති වැලැද්මීර් පුටිං ඉන්දියාවේ සංචාරයක නිරත වූ අවස්ථාවේ තවත් මිලදී ගැනීමක් සඳහා සාකච්ඡා සිදුවිය.