2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා

චීන - තායිවාන අලකලංචියට ලිතුවේනියාවත්!

 2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 121

තායිවාන තානාපති කාර්යාලයක් ලිතුවේනියාව විසින් එරට තුළ පිහිටුවීමට අවසර දීම නිසා චීනය උරණ වී ඇත.

ලෝකයේ රටවල් 15ක් පමණ තායිවානය ස්වාධීන රටක් ලෙස පිළිගෙන ඇත. ඒ අතර පැරණි සෝවියට් කඳවුරේ රටක් වන ලිතුවේනියාව ගත් මෙම තීරණය “එක් චීන රටක්” නමැති සංකල්පය හා චීනයේ භෞමික අඛණ්ඩතාවය උල්ලංඝණය කර ඇති බව චීන විදේශ අමාත්‍යංශය කියයි.

ඉකුත් ඉරිදා දිනයේද චීන යුද යානා නමයක් තායිවාන දේශසීමාව උල්ලංඝණය කළ බව තායිවාන ආරක්ෂක ඇමතිවරයා මාධ්‍ය අමතා ප්‍රකාශ කර සිටියේය. පසුගිය මාසයේ අමෙරිකාව විසින් තායිවානය තුළ අමෙරිකානු විශේෂ හමුදා සෙබළුන් 20දෙනෙකු රඳවා ඇති බවත් අවශ්‍ය ඕනෑම අවස්ථාවක යුදමය සහයක් ලබාදීමට සුදානම් බවත් පවසනු ලැබිණි.

චීන හිතවාදී සෝවියට් රටක් වන ලිතුවේනියාව මේ තීරණය ගෙන තිබුණේ තායිවානය සම්බන්ධයෙන් චීනය හා අමෙරිකාව අතර ගැටුම දිනෙන් දින උග්‍ර වෙමින් පවතින තත්වයක් තුළය. ෂි ජින්පින් හා ජෝ බයිඩන් අතර පැවැති පැය තුනක දුරකථන සාකච්ඡාවේදී චීන ජනාධිපතිවරයා “ගින්දර සමග සෙල්ලම් නොකරන” ලෙස ඉකුත් සතියේද ජෝ බයිඩන්ට අවවාද කර තිබුණි.

පිළිතුරැ වශයෙන් ජෝ බයිඩන්  කියා ඇත්තේ තමන් “තනි චීන සංකල්පය” පිළිගන්නා බවත් නමුත් තායිවානය නිදහස් රටක් ලෙස පිළිගැනීමට කිසිදා එකඟ නොවන බවත්ය. මෙම සාකච්ඡාව අවසාන වීමටත් පෙර ලිතුවේනියාව විසින් තායිවානයට තාවකාලික තානාපති කාර්යාලයක් (de facto) ලබාදීම හේතුවෙන් චීනය ඒ පිළිබඳව තම විරෝධය පල කරමින් එරටට අනතුරු හඟවා ඇත. ලිතුවේනියාවේ මෙම තීරණයට අමෙරිකාව සහාය පලකළේ ඩොලර් මිලියන 600ක් ණයක් ලිතුවේනියාවට ප්‍රදානය කරමිනි.

ලිතුවේනියාව යුරෝපා සංගමයේ සාමාජික රටක් වුවත් “මෙය ලිතුවේනියාව හා චීනය අතර ද්විපාර්ශ්වික ගැටුමක්” ලෙස පමණක් අර්ථකථනය කරන බව යුරෝපා සංගමය  කියා තිබුණි.