2021 ඔක්තෝබර් 30 වන සෙනසුරාදා

සෞදි රාජකීය කුමන්ත්‍රණ එළිවෙයි!

 2021 ඔක්තෝබර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 186

සෞදි අරාබියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුට එරෙහිව එරට හිටපු බුද්ධි අංශ නිලධාරියකු වන සාද් අල්-ජබ්රි දැන් මාධ්‍ය අමතමින් සැර ප්‍රකාශ නිකුත් කරමින් සිටියි. සෞදි අරාබිය පාලනය කළ අබ්දුල්ලා රජු මරා දැමීමට ඔහු වරක් යෝජනා කළ බව  සාද් අල්-ජබ්රි මෑතකදී එල්ල කළ චෝදනාවයි.

CBS නාලිකාව සමඟ සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් හිටපු බුද්ධි අංශ නිලධාරියා සඳහන් කළේ ඔටුන්න හිමි කුමරු වන සල්මාන් කුමරු විසින් සිය ඥාති සහෝදරයින් වෙත රජු ඝාතනය කිරීමේ මෙම යෝජනාව ඉදිරිපත් කළ බවයි.

“2014 වර්ෂයේදී ඔටුන්න හිමි සල්මාන් කුමරු අබ්දුල්ලා රජු ඝාතනය කිරිම සඳහා යෝජනා කළා ඔහුගේ ඥාති සහෝදරයින්ට. එවකට ස්වදේශ කටයුතු ඇමතිවරයා ලෙස කටයුතු කළ මොහොමඩ් බින් නායිෆ් කුමරුට මේ යෝජනාව සිදුකළා” යැයි එම බුද්ධි අංශ නිලධාරියා කියා ඇත. ”මට ඔහුව මරන්නයි අවශ්‍ය. ඒකට රුසියාවෙන් විෂ පෙවූ මුද්දක් ලබාගන්න මට පුළුවන්. අබ්දුල්ලා රජුට අතට අත දෙන්න පමණයි මට අවශ්‍ය. එතැනින් එහාට ඔහුගේ කතාව අහවරයි” යැයි සල්මාන් කුමරු ප්‍රකාශ කළ බව සාද් අල්-ජබ්රි ප්‍රකාශ කර තිබුණි.

සල්මාන් කුමරුට ඔහුගේ පියා සෞදියේ පාලකයා කරවීමට අවශ්‍යව තිබූ බවද ජබ්රි කියා ඇත. 2015 වර්ෂයේදී අබ්දුල්ලා රජු අභාවප්‍රාප්ත වූ අතර ඉන්පසුව මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ පියා සෞදි අරාබියේ රජු වශයෙන් නම් කරනු ලැබු අතර එවකට ස්වදේශ කටයුතු කළ මොහොමඩ් බින් නායිෆ් ඔටුන්න හිමි කුමරු ලෙස නම් කරන්නට යෙදුණි. කෙසේ වුවත් 2017 වර්ෂයේදී මොහොමඩ් බින් නායිෆ් ධුරයෙන් ඉවත් කෙරුණු අතර, ඔහුගේ ස්ථානයට මොහොමඩ් බින් සල්මාන් කුමරු පත් කරනු ලැබිණි. පසුව මොහොමඩ් බින් නායිෆ් කුමරු දැරූ ඇමැති පදවියෙන්ද ඔහු ඉවත් කොට නිවාස අඩස්සියට පත් කෙරුණි.

මාධ්‍යවේදී ජමාල් කෂෝගී ඝාතනය සම්බන්ධයෙන්ද සෞදියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන්ට චෝදනා එල්ල වී තිබේ.