ආරක්ෂක හමුදා විසින් සුඩානයේ සංක්‍රාන්ති ආණ්ඩුව විසුරුවා හැරීම අමෙරිකා එක්සත් ජනපදය හෙළා දැක ඇත. වහාම කොන්දේසි විරහිතව සහ සිවිල් පාලනය ස්ථාපිත කරන ලෙසට ඇමරිකා එක්සත් ජනපදය සුඩානයට කියා තිබේ. සුඩාන අගමැති අබ්දුල්ලා හැම්ඩොක් ඇතුළු නිවාස අඩස්සියට සහ අත්අඩංගුවට ගෙන තිබෙන සිවිල් නායකයන් නිදහස් කළ යුතු බවද ඇමරිකාව කියා සිටියි.
සුඩානයේ රාජ්‍ය බලය හමුදාව විසින් අත්කර ගනු ලැබුවේ එරට සිවිල් යුද්ධයක් හට ගැනීම වැළැක්වීමට බව හමුදා කුමන්ත්‍රණයට නායකත්වය දුන් ජෙනරාල් අබ්දල් ෆටා අල් බර්හාන් ප්‍රකාශ කළේය. බලයෙන් නෙරපා දැමූ එරට අගමැති අබ්දුල්ලා හැම්ඩොක් නිවාස අඩස්සියේ තැබුවේ ඔහුගේම ආරක්ෂාවට බවත්, ඔහු නිරුපද්‍රිතව යළි නිවෙසට ගිය බවත් හමුදා නායකයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
හමුදා කුමන්ත්‍රණයත් සමඟ සුඩානයේ සිදු වූ ජනතා උද්ඝෝෂණ කාටුම් අගනුවර දිගින් දිගටම පවතින අතර, මේ වනවිට සිවිල් වැසියන් දස දෙනකු පමණ ඝාතනයට ලක් වී ඇතැයි වාර්තා වේ.
ජෙනරාල් බර්හාම් රටේ බලය අත්කර ගැනීමෙන් දින දෙකක් ඇතුළත සිය රජයේ නව ඇමතිවරුන් සහ විනිශ්චකරුවන් පත් කිරිමේ නිවේදනය නිකුත් කර ඇති අතර, ඉදිරියේදී අන්තර්ජාතික වශයෙන් සහයෝගයද බලාපොරොත්තුවෙන් පසුවෙයි.
මේ අතර, ඇමරිකාව විසින් සුඩාන ආණ්ඩුවට ලබාදීමට නියමිතව තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 700ක සෘජු ආධාරද නතර කර දමා තිබේ. ජගත් සංවිධානයද සුඩානයෙන් ඉල්ලා සිටින්නේ අගමැති සහ සිවිල් නායකයන් වහාම නිදහස් කරන ලෙසය. සුඩානය සම්බන්ධයෙන් අනුගමනය කරන ඉදිරි පියවර පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලය හදිසි සැසියක්ද පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.