2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා

රැප් ගායිකාවක් තලේයිබාන් වෙස්මුහුණගලවයි!

 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 164

තලෙයිබාන් විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුට්ටාකි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ මණ්ඩල රැස්වීමේදී ලෝක නායකයන් අමතන්නට තමන්ටද අවස්ථාවක් ලබාදෙන ලෙස මහලේකම්වරයා වෙත යැවූ ලිපියකින් කර ඇති ඉල්ලීම සිය සංවිධානයට අන්තර්ජාතික පිළිගැනීමක් ලබාගැනීම සඳහා වූ උත්සාහ ඔවුන් අත්හැර නැති බවට යස සාධකයකි. එම ලිපියට සමගාමීව තලෙයිබාන් සංවිධානයේ ඉහළ පෙලේ නායකයින් චීනය, රුසියාව සහ පාකිස්තානයේ විශේෂ නියෝජිත පිරිසක් අතර හමුවක්ද  සිදුවී තිබේ.

කාබුල් නුවරදී සිදුවී ඇති එම හමුවේදී නව රජයක් පිහිටුවීම, ත්‍රස්තවාදය පිටුදැකීම සහ මානූෂිය තත්ත්වයන් සම්බන්ධ කාරණා අවධානයට ලක්ව තිබේ. මේ වනවිට බලයෙන් පහ කළ ඇෆ්ගන් රජය නියෝජනය කරමින් නිව් යෝක්හි සිටින එරට ජගත් සංවිධාන තානාපති ගුල්හාම් ඉසාසාකි වෙනුවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇෆ්ගන් නියෝජිතයා වශයෙන් තලෙයිබාන් මාධ්‍ය ප්‍රකාශක සුහේල් ෂශීන් එම සංවිධානය මගින් නම්කර තිබේ.

තමන් 1996-2001 පාලනයට වඩා බෙහෙවින් වෙනස් වී ඇති බව තලෙයිබානය පැවසුවත්, දැරියන්ට පාසල් අධ්‍යාපනය තහනම් කිරීම යනාදී තීරණවලින් ඔවුන් පෙර යුගයටම නැවත යමින් සිටින බව තහවුරුව තිබේ. නමුත් ඔවුන් ලෝකය වෙත පෙන්වන්නේ වෙස්මුහුණකි.

මේ සිද්ධියට සමගාමීව විදෙස් රටක ජීවත්වෙන ඇෆ්ගන් ජාතික රැප් ගායිකාවක සහ කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක වන සොනීටා අලිසාදේ මේ තලෙයිබාන් වෙස්මුහුණ ගලවා දමන්නට ඉදිරිපත්ව සිටියාය. වර්චුවල් තාක්ෂණය ඔස්සේ ජගත් සංවිධානය අමතමින් ලෝක ප්‍රජාවගෙන් ඇය ඉල්ලා සිටියේ තලෙයිබානය නීත්‍යානුකූල ආණ්ඩුවක් ලෙස පිළිනොගන්නා ලෙසය. කාන්තාවන් හා දරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරමින්, දැරියන්ට පාසල් අධ්‍යාපනය තහවුරු කරන සහ ඇෆ්ගන් ජාතිකයන් තීරණ ගැනීමේ ක්‍රියාවලියට ඇතුළත් කර ගන්නා ඇෆ්ගනිස්ථානයක් වෙනුවෙන් පෙනී සිටින ලෙසටය.

සොනීටා අලිසාදේ ලෝක ප්‍රකටව සිටින්නේ ළමා විවාහ ඇතුළු ඇෆ්ගන් ස්ත්‍රීන් හා දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ගෝලීයව හඬ නගන ක්‍රියාකාරිනියක් හැටියටය.