2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා

ඇපල් iphone 13 සහ ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන වෙළෙඳපොළ

 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 130

ශ්‍රී ලංකාව තුළ ඇපල් iPhone ජංගම දුරකථනයක මිල සතියක් ඇතුළත රුපියල් ලක්ෂ පහකට ආසන්න විය. මේ අතර, ඇපල් සමාගම සිය නව මාදිලියේ ජංගම දුරකථනය වන iPhone 13 සැප්තැම්බර් මස දෙවැනි සතියේදී එළිදැක්වීමට ක්‍රියා කළේය.

iPhone 13 ජංගම දුරකතනයෙන් 'පෝට්ට්‍රේට් ආකාරයේ (portrait mode)' වීඩියෝ පටිගත කිරීමට හැකි අතර, එම කැමරාව පමණක් යොදාගෙන පටිගත කළ කෙටි සිනමාපටයක් ද ඇපල් සමාගම් වෙබ්අඩවියේ පළ කර තිබේ.

මෙම නව කැමරාවට ''යමකු රාමුවට ඇතුළු වීමට ආසන්න බව හඳුනාගන්න පුළුවන්,'' ඒ අනුව කැමරාවේ අවධානය මාරු වන බව ඇපල් සමාගම පැවසීය. මෙය ''පුල් ෆෝකස් (pull focus)'' යනුවෙන් හැඳින්වේ.

පටිගත කිරීමෙන් පසු පරිශීලකයන්ට මෙම අංගය සංස්කරණය කිරීමට ඉඩ දෙන එකම ස්මාර්ට් ජංගම දුරකථනය මෙය බව ඇපල් සමාගමේ ප්‍රධානී ටිම් කුක් පැවසීය.

කෙසේ වෙතත්, iPhone 13 නව මාදිලියේ ඇති අනෙකුත් බොහෝ විශේෂාංග පෙර තිබූ ඒවා යාවත්කාල කිරීම්ය. පරිශීලකයන්ගේ පණිවිඩ හෙළිදරව් කළ හැකි, ඇපල් උපාංගවල නව ආරක්ෂක දෝෂයක් පිළිබඳ පුවත නිසා නව මාදිලිය එළිදැක්වීම යම් දුරකට යටපත් වීමක් ද සිදුවිය.

මෙහිදී සිදුවන්නේ, පරිශීලකයා අනවශ්‍යය සබැඳියක් හෝ ගොනුවක් (link or file) ක්ලික් නොකරම ප්‍රහාරකයන්ට ජංගම දුරකථනයේ (අයි මැසේජ්) සේවාවට ප්‍රවේශ විය හැකි වීමය.

මේ දිනවල සමාජයේ මහත් කතාබහකට ලක් වන පෙගාසස් (PEGASUS) නම් ඔත්තු බැලීමේ මෙම මෘදුකාංගය ඊශ්‍රායල මෘදුකාංග සහ තාක්ෂණික කණ්ඩායමක් වන එන්.එස්.ඕ. නම් ඔත්තු සේවා සපයන සමාගමක් විසින් නිර්මාණය කරන ලද අතර එය ඇපල් ජංගම දුරකතනවල මෙහෙයුම් පද්ධතිය වන iOS හි ඇතැම් අනුවාදයන් හි ධාවනය කරන උපාංගවල මෙන්ම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ධාවනය වන උපාංගවලද ස්ථාපනය කළ හැකි බව විශේෂඥයෝ සඳහන් කරති.
ඇපල් උපාංග සම්බන්ධයෙන් පෙර නොදන්නා මෙම අඩුපාඩුව සඳහා ආරක්ෂක ක්‍රමවේදයක් ඇතුළත් 14.8 අනුවාදනය නිකුත් කිරීමට ඇපල් සමාගම සඳුදා (13) දින පියවර ගත්තේය.

ඇපල් රත්‍රන් වගේ

“මම පාවිච්චි කරන්නේ පරණ ඇපල් ෆෝන් එකක්. අලුත් ඒවා ගන්න එක දැන් හීනයක් විතරයි. ලංකාවේ දැන් ඇපල් ෆෝන් රත්‍රන් වගේ. තියෙන එකත් හොරුන්ගෙන් පරිස්සම් කරගන්න වෙයි,” පෞද්ගලික ආයතනයක රුකියාවේ නිරත මනාෂා අල්විස් පැවසුවාය.

මේ වනවිට ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ආර්ථික පසුබෑමත් සමඟ, අගෝස්තු මස අවසානයේ දී ජංගම දුරකථන, රෙදිපිළි ඇතුළු භාණ්ඩ විශාල ප්‍රමාණයක් ආනයනය කිරීමේ දී සීමාවන්ට යටත් කිරීමට රජය පියවර ගත්තේය.

“ආනයන සීමා කළා, නිෂ්පාදන අරඹන්න,” යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
“සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පොරොන්දු වූ ආකාරයට ජනතා කේන්ද්‍රීය ආර්ථිකයට ගමන් මඟ සකසා තිබෙනවා. දේශීය සහ අන්තර්ජාතික වෙළෙඳපොළ ජයගැනීම කර්මාන්තකරුවා හමුවේ ඇති වත්මන් අභියෝගය,” බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

එම සීමා පැනවීම් නිවේදනය කිරීමත් සමඟම ජංගම දුරකථන ඇතුළු භාණ්ඩ රැසක මිල විශාල ලෙස ඉහළ ගොස් තිබේ. ඉදිරියේ දී කිසිසේත්ම අඩු මිලට ජංගම දුරකථන ලබා ගැනීමට නොහැකි වනු ඇති බව, ශ්‍රී ලංකාවේ ඇපල් ජංගම දුරකථන නිල ලත් බෙදාහරින්නා වන GENXT ආයතනය ප්‍රධානී රජීව් ගුණරත්න මාධ්‍යයට පැවසීය. නව සීමාවන් හේතුවෙන් කෙටි කාලයක් තුළ වෙළෙඳපොළේ ජංගම දුරකථන හිඟයක් ඇතිවන අතර, මිල විශාල වශයෙන් ඉහළ යනු ඇති බවත් ඔහු පැවසීය.

“මේ වෙලාවේ අලුත් තාක්ෂණික මොබයිල් අරගෙන, මොබයිල් එක මාරු කරන්න පුළුවන් තැනක නෙමෙයි රට ඉන්නේ” - බන්දුල ගුණවර්ධන

මෙම තත්ත්වය හේතුවෙන් මහා පරිමාණ ව්‍යාපාරිකයන් කීපදෙනකු පමණක් ඉතිරිවී කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් බිඳවැටෙනු ඇති බවද ඔහු තවදුරටත් පැවසුවේය.

මේ අතර, වෙළෙඳ අමාත්‍යය බන්දුල ගුණවර්ධන මාධ්‍යට පැවසුවේ, “ජංගම දුරකථන ගෙන්වීම නතර කරලා නැහැ. මිල වැඩිනම් එය අඩු කරන ක්‍රම තිබෙනවා. මේ වෙලාවේ අලුත් තාක්ෂණික මොබයිල් අරගෙන, මොබයිල් එක මාරු කරන්න පුළුවන් තැනක නෙමෙයි රට ඉන්නේ,” යනුවෙනි.

වත්මන් ආණ්ඩුව ආනයන සීමා කර රටේ ආර්ථිකය ගොඩනැගීමට ගෙන එන සැලසුම්වලින් රටේ ආර්ථිකය සහ රුපියල තවත් කඩා වැටෙන අතර, කෙටිකාලීන වාසි ලබා ගැනීම සඳහා සිදු කරන මෙවැනි දේ මගින් අපනයන නිෂ්පාදනවලට දැඩි බලපෑම් එල්ල විය හැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පැවසීය.

“මේ අවස්ථාවේ හැටියට මිල වැඩිවෙන එක කමක් නැහැ කියමුකෝ. හැබැයි ලංකාවේ තියෙන ප්‍රශ්නය තමයි ආර්ථිකය ආපසු ස්ථාවර වුණාට පස්සෙත් අර වැඩි වුණ භාණ්ඩ මිල, ආයෙත් අඩු වෙන්නේ නැති එක. එහෙමත් නැත්නම් වැඩිවෙන බඩු මිලට සාපේක්ෂව පඩි වැඩි නොවන එක. ඉතින් මිනිස්සු කොහොම ද මෙහෙ ජීවත් වෙන්නේ,” රජයේ ආයතනයක රැකියාවේ නිරත වන උදාරි යසංගා පැවසුවාය.

I බී.බී.සී. සිංහල වෙබ් අඩවිය ඇසුරිනි