2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා

රටේ ධනවත්ම මිනිසා ලෙබනන් මහ පුටුවට!

 2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 128

ලෙබනනයට අලුත් අගමැතිවරයෙක් සහ අලුත් ආණ්ඩුවක් පත්ව ඇත. නව අගමැතිවරයා රටේ ධනවත්ම මිනිසාය. නජීබ් මිකාටි නමැති ඔහු බලයට එන්නේ පුරා වසරකට අධික කාලයක් පැවති දේශපාලන අංශභාග තත්ත්වය, නිමා කරමිනි. 
නව ආණ්ඩුව පත්වන්නේ ඉතිහාසයේ අන් කවරදාටත් වඩා ලෙබනනය මතභේදාත්මක ගැටලු ගණනාවකට මුහුණ දී සිටියදීය. මුදල් ඒකකයේ අගය කඩා වැටීම, විරුකියාව සහ අති ඉහළ උද්ධමනය, විදුලිය, ඉන්ධන හා ඖෂධ හිඟය වැනි ගැටලු ගණනාවක් මේ වනවිට ඇතිව තිබේ.

පූර්ණ දේශපාලන ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටිමින් ලෙබනන් ජාතිකයන් පුරා වසර දෙකකට අධික කාලයක් උද්ඝෝෂණ කරමින් සිටියහ. අවසානයේ 2020 අගෝස්තු 4 වැනිදා බීරූට් තොටුපොළේ දැවැන්ත බෝම්බ පිපිරුමක් සිදුවී දින කිහිපයකට පසුව ලෙබනන් අගමැති හසොන් දායිබ් ඉල්ලා අස්විය. ඇමෝනියම් නයිට්‍රේට් ගබඩාවක් පුපුරා යාම නිසා මෙම අනතුරේදී පුද්ගලයන් 203 දෙනෙක් මරණයට පත් වූ අතර, සිදුවූ හානිය ඩොලර් බිලියන ගණනකි. මෙවැනි ඇමෝනියම් නයිට්‍රේට් ගබඩාවක් ලෙබනන් වරායේ තිබෙන බව බලධාරීන් නොදැන සිටි බවටද වාර්තා විය.

කෙසේ නමුත් වසර 2ක් තිස්සේ අපේක්ෂා කළ වෙනස, ලෙබනනයේ නව ආණ්ඩුවෙන්ද ලැබෙනු ඇතැයි සිතීම ප්‍රායෝගිකව දුෂ්කරය. නව අගමැති නජීබ් මිකාටි, මීට පෙරද 1998 සිට 2003 අතර කාලය තුළ දෙවරක් ලෙබනනයේ ඇමති ධුර හොබවා තිබේ. ටෙලිකොම් ව්‍යාපාර ගණනාවක හිමිකරැ වන ඔහු, ලෙබනනයේ පමණක් නොව සිරියාවේද ටෙලිකොම් ව්‍යාපෘති සිදුකර තිබේ.