2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා

තලෙබාන්-චීන දීගය මැද රට තුළ දැඩි විරෝධතා

 2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 37

කිසිදා තලෙබාන්වරුන්ට යටත් නොවූ පන්ජ්ෂීර් නිම්නයද යටත් කරගැනීමට ඉකුත් සතියේ තලෙබාන් සංවිධානයට හැකිවූ අතර ඇෆ්ගන් යුද්ධය මුළුමනින්ම අවසන් බවට තලෙබාන් සංවිධානයේ ප්‍රකාශක සබිහුල්ලා මුජාහිඩ් නිවේදනය ක‌‌‌ළේය. ඒ සමගාමීව මුල්ලා මොහොමඩ් හසන් අකුන්ඩ්ගේ නායකත්වයෙන් යුත් අතුරු රජයක් පිහිටුවීමට ඔවුහු  ක්‍රියා කළහ. එහි නියෝජ්‍ය නායකයා ලෙස තලෙබාන් සංවිධානයේ සම නිර්මාතෘ මුල්ලා අබ්දුල් ගානි බරඩාර් කටයුතු කරන බව නිවේදනය විය. මේ අතර ඇෆ්ගන් ප්‍රතිරෝධි ජාතික පෙරමුණු හමුදාව තමන් උපාය මාර්ගික ක්‍රමවේදවලට අනුව තවදුරටත් සටන් වදින බව කියා තිබුණි.

අමෙරිකාවේ පෙන්ටගනයට සහ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට අල්කයිඩා ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කළ සැප්තැම්බර් 11 වැනි දින ඇෆ්ගන් නව රජය ප්‍රකාශයට පත්කිරීමේ උත්සවය බොහෝදුරට පැවැත්වෙනු ඇති බවට මත මේ වනවිට පළව ඇත. එම උත්සවයට රුසියාව, කටාර් සහ තුර්කියේ ආරාධිතයන් පිරිසක් සහභාගිවීමට නියමිතය. මේ අතර චීනය සමඟ සමීප සබඳතා පවත්වා ගැනීමට තමන් සූදානම් බව නව ඇෆ්ගනිස්තාන රජය කළ නිවේදනයකට චීනයද යහපත් ප්‍රතිචාර දක්වා ඇත. ඒ අනුව තලෙබාන් නව පාලනය සමග සමීප සබඳතා පවත්වා ගැනීමේ සූදානමින්, අමෙරිකානු ඩොලර් මිලියන 31ක ආධාරයක් ප්‍රදානය කිරීමට චීනය තීරණය කර තිබේ. ආධාර යටතේ ලබාදීමට නියමිතව ඇත්තේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ කොවිඩ් එන්නත් තොගයකි.

කලාපීය සහ ලොව සෙසු රටවල් සමඟ යහපත් සබඳතා පවත්වා ගැනීමට තම රජය උත්සාහ කරන බව තලෙබාන් සංවිධානය අවධාරණය කර තිබුණි. මේ අතර තලෙබාන්වරු රටේ බලය අත්පත්කර ගැනීමෙන් පසු පළමුවරට විශ්වවිද්‍යාලවල අධ්‍යාපන කටයුතු ආරම්භ කර තිබුණි. එහිදී සිසුන් සහ සිසුවියන් වෙන්කරමින් පන්ති කාමර තිරයකින් කොටස් දෙකකට බෙදා තිබුණි.

භාරකාර රජයේ වැඩබලන අගමැති මුල්ලා මොහොමඩ් හසන් අකුන්ද් විශේෂ ප්‍රකාශයක් කරමින් දැනුම් දී ඇත්තේ, අමෙරිකාව සහ ඔවුන්ගේ ආධාර මත ක්‍රියාත්මක වූ ඇෆ්ගන් හිටපු රජයේ සේවය කළ සියලු රජයේ සේවකයින්ට සමාව දීමට තම රජය තීරණය කර ඇති බවය. මේ අතර පුරුෂයින්ගෙන් පමණක් සමන්විත නව රජයක් පිහිටුවීමට තලෙබාන් සංවිධානය ගත් පියවරට එරෙහිව කාබුල් නුවර කාන්තාවන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් විරෝධතාවක් පැවැත්වුණි.

මේ වනවිට මෙලෙස රටපුරා තැන තැන තලෙබාන් විරෝධතා පැන නැගී තිබේ. මේවාට එක්වන්නේ බටහිර ගැති පිරිසක් බවට චෝදනා කරන තලෙබාන් සංවිධානය එම  විරෝධතා මර්දනයට කඳුළු ගෑස් පවා යොදාගෙන තිබුණි.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00