2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා

එන්නත් එපා කියූ කොවිඩ් නැති රට!

 2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 147

දුප්පත් රටවලට එන්නත් ලබා ගැනීම උදෙසා වූ කොවැක්ස් වැඩසටහන යටතේ තමන්ට ලැබුණු චීනයේ නිෂ්පාදිත  සිනොවැක් එන්නත් තොගයක්  උතුරු කොරියාව ප්‍රතික්ෂේප කළේය. ඒ රට එසේ ප්‍රතික්ෂේප කර තිබෙන්නේ මාත්‍රා මිලියන 3ක කොවිඩ් – 19 එන්නත් තොගයකි.

කොවැක්ස් පහසුකම යටතේ ලැබීමට නියමිතව තිබූ එම කොවිඩ් එන්නත් තොගය එන්නත් හිඟවීම හේතුවෙන් පීඩාවට පත්ව සිටින රටකට ලබාදෙන ලෙස උතුරු කොරියාව ලෝක සෞඛ්‍ය සංවිධානයට දැනුම් දී ඇති බව වාර්තා වී ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව පසුගිය අගෝස්තු 19 වැනිදා තුරුත් උතුරු කොරියාවෙන් කිසිදු කොරෝනා ආසාදිතයෙකු හඳුනාගත් බවට වාර්තා වී නොමැත.  සෞඛ්‍ය සේවකයින් ඇතුළු උණ සහිත පුද්ගලයින් 37,291 පමණ පරීක්ෂාවට ලක්කර ඇතත් එම පරීක්ෂණවලදී තහවුරැ වී ඇත්තේ ඔවුන් කිසිවෙකුත් කොරෝනා ආසාදිතයින් නොවන බවයි.

උතුරු කොරියාව කොරෝනා වෛරස ව්‍යාප්තිය මූලාරම්භයේදීම රට තුළට වෛසරය ඇතුළු වීම පාලනයට දැඩි නීතිරීති බලාත්මක කළ අතර එරට සැලකෙන්නේ, වෛරස ව්‍යාප්තිය ආරම්භයේදීම දේශසීමා වසා දැමූ පළමු රටවල් කිහිපය අතරින් එකක් ලෙසයි.

උතුරු කොරියාව කොවිඩ් මර්දන එන්නත ප්‍රතික්ෂේප කළ පළමු අවස්ථාව මෙය නොවන අතර පසුගිය ජූලි මාසයේදීද මිලියන 2කට ආසන්න ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් එන්නත් තොගයක් මෙන්ම රැසියාව ලබාදීමට සූදානම් වූ ස්පුට්නික් එන්නත්ද ප්‍රතික්ෂේප කර තිබිණ.

කෙසේ වෙතත් උතුරැ කොරියාව කොවිඩ් - 19 එන්නත්වල සාර්ථකභාවය පිළිබඳව නිරන්තරව සැක පළකරන අතර අමෙරිකාවේ සහ යුරෝපයේ ඇතැම් සිදුවීම් පිළිබඳ වාර්තා කිරීමට සිය රටේ රාජ්‍ය මාධ්‍යයෙහි වැඩි ඉඩක් වෙන්කර තිබේ.