2021 අගෝස්තු 28 වන සෙනසුරාදා

ලෝක බැංකු ප්‍රජාව ඇෆ්ඝනය තනි කරයි!

 2021 අගෝස්තු 28 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 126

ලෝක බැංකුව ඇෆ්ගනිස්ථානයට ලබාදෙන ආධාර අත්හිටුවා තිබේ. තලෙබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්තානය අත්පත්කර ගැනීමෙන් අනතුරුව මෙලෙස එරටට ලබාදෙන අරමුදල් නතර කිරීමට පියවර ගත් බව ලෝක බැංකුව පවසා ඇත.

ඇෆ්ගනිස්තානයේ බලය තලෙබාන් සංවිධානය විසින් අත්පත් කරගැනීම එරට සංවර්ධන අපේක්ෂාවන්ට සහ කාන්තාවන්ට බලපාන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් තමන් අවධානයෙන් පසුවන බව ලෝක බැංකුව සඳහන් කරයි.

ලෝක බැංකුව මෙලෙස ඇෆ්ගනිස්තානයේ ව්‍යාපෘති සඳහා ලබාදෙන අරමුදල් නතර කිරීමට තීරණය කරන අතරවාරයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද ඇෆ්ගනිස්ථානය වෙත අරමුදල් සැපයීම අත්හිටුවීමට පියවර ගෙන තිබේ. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, මගින් ඇෆ්ගනිස්ථානයට මේ මාසයේ ලැබෙන්නට තිබූ පවුම් මිලියන 268 ක්ද නතර විය. මේ අතර ඇමරිකානු ඩොලර් මිලියන 440ක මුදල් සංචිතයක්ද IMF විසින් අත්හිටුවා ඇත්තේ, ඇමරිකානු මහා භාණ්ඩාගාරයෙන් එල්ල වූ පීඩනය මතය. මෙම සංචිත අරමුදල පාලනය කරන්නේ ඇමෙරිකාව විසිනි.

ඒ සමඟම ඇෆ්ගනිස්ථාන මහ බැංකුව සතුව අමෙරිකාවේ ඇති වත්කම් තහනම් කිරීමට අමෙරිකානු ආණ්ඩුවද පියවර ගෙන ඇත. මෙහිදී වැදගත් කරුණක් වන්නේ මේ වනවිට ඇෆ්ගනිස්ථානයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 42.9%ක් ලැබෙනුයේ විදේශ අරමුදල් ප්‍රදානයන් මගින් වීමයි. ඔවුන් මෙම තීරණය ගෙන තිබෙන්නේ තලෙයිබාන් සංවිධානය මගින් සිය රටට ලබාදෙන ආධාර මුදල් නතර නොකරන ලෙසට ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලීමක් කර තිබෙන අතරවාරයේය.

මේ වනවිට ඇෆ්ගනිස්ථානයේ රාජ්‍යත්වය සහ ආණ්ඩුව අන්තර්ජාතික ප්‍රජාව විසින් පිළිගැනීමට ලක්වීම සම්බන්ධව බරපතල ගැටලුකාරී බවක් උත්සන්න වෙමින් තිබේ. රට තුළ මුදල් හිඟයක් සහ ආහාර හිඟයක් දැනටම ඇති වෙමින් පවතියි. ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රද මුදල් රහිතව හිස් වෙමින් පවතින බව වාර්තා වේ.