2021 අගෝස්තු 14 වන සෙනසුරාදා

තලීබාන් වෛරසය ඇෆ්ඝනය ගිලිගනියි

 2021 අගෝස්තු 14 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 126

අමෙරිකානු හමුදා ඉවත්ව යාමත් සමඟ දැන් ඇෆ්ඝනය තුළ තලීබාන් බලය වෛරසයකටත් වඩා වේගයෙන් පැතිර යමිනි. ඇෆ්ගනිස්තානයේ අගනගරය කාබුල් වෙත සැපයුම් ලැබෙන ප්‍රධාන මාර්ගයේ පිහිටි යුදමය වශයෙන් ඉතා වැදගත් ප්‍රාදේශීය නගරයක් වන ගාෂ්නි (Ghazni) නගරයද මේ වනවිට තලීබානුන් හට යටත්ව ඇත.

ඒ අනුව ඉකුත් සිකුරාදා දිනයේ සිට දින 05ක් ඇතුළත තලෙයිබාන් සංවිධානය මගින් ඇෆ්ඝනිස්ථානයේ ප්‍රධාන නගර 10ක් අත්පත් කරගෙන ඇත. මේ මර්මස්ථානය වන  ගාෂ්නි , නගරයද කාබුල් සිට සැතපුම් 93ක් දකුණින් පිහිටා තිබේ. දකුණේ කන්දහාරයද සති කිහිපයක් තිස්සේ තලීබානුවන් යටතේය. එහි බන්ධනාගාරයද ඔවුන් යටතේය. තලීබානුවන් එහි සිරකරුවන් 1000ක් පමණ නිදහස් කළ අයුරැ දැක්වෙන වීඩියෝවක්ද නිකුත් කර ඇත.

ගාෂ්නි අත්පත්කර ගැනීමත් සමඟ දැන් තලිබානුවන් කාබුල්හි උතුරු දකුණු දෙදිගටම බලපෑම් කළ හැකි මර්මස්ථාන සිය පාලනයට ගෙන හමාරය. කලින් ඔවුන් අල්ලාගත් බග්ලාන් ප්‍රදේශයට අයත් නගර උතුරු කරයේ සිට කාබුල් ආරක්ෂාවට දැඩි සේ බලපෑම් කළ හැකි ස්ථාන ලෙස අමෙරිකානු බුද්ධි වාර්තා තහවුරු කරයි. මේ අන්දමට තලීබාන් බලය පැතිර යන සීඝ්‍ර ආකාරය අනුව ඉදිරි දින 30 - 60 අතර කාලයේදී ඇෆ්ඝනිස්ථානයේ අගනුවර තලීබානුවන් අතට පත්වනු ඇතැයි එක් අමෙරිකානු බුද්ධි වාර්තාවක් කියයි. තවත් වාර්තාවකට අනුව ඒ සඳහා දින 90ක කාලයක් ගතවනු ඇත.

එක්සත් ජාතීන් වාර්තා කරන්නේ මේ වනවිට ඇෆ්ගනය අවුල් ජාලයක්ව ඇති බවටය. 2021 ආරම්භයේ සිට 3,90,000කට ආසන්න පිරිසක් අවතැන්ව ගොස් ඇති බව ඔවුන්ගේ වාර්තා පෙන්වා දෙයි.

මේ තලීබානු පැතිරීමත් සමඟ ඇෆ්ඝන් හමුදාවේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස මෙතෙක් සිටි ජනරාල් වාලි මොහොමඩ් අහ්මදාෂී වෙනුවට ජනරාල් හිබතුල්ලා අලීෂීයා  පත්කර තිබේ. ඔහු ගුවන් හමුදා ආධාර සහිතව ක්‍රියාත්මක ඇෆ්ඝන් හමුදාවේ විශේෂ ඛණ්ඩයක තලීබාන් බලය රටින් අතුගා දමන්නට සටන් කළ පළපුරුදුකාරයෙකි.