2021 ජුලි 31 වන සෙනසුරාදා

ටියුනීසියාවේ නව දේශපාලන අර්බුදයක්!

 2021 ජුලි 31 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 29

කොවිඩ් වසංගතය පාලනය කිරීමට රජය අපොහොසත් වීමේ චෝදනාව මත ටියුනීසියානු ජනාධිපතිවරයා විධායක බලතල පාවිච්චි කර එරට අගමැතිවරයා ධූරයෙන් නෙරපා හැරීමත් සමඟ මේ වන විට ටියුනීසියාව දේශපාලන අර්බුදයකට මුහුණ පා තිබේ. 

අගමැතිවරයාට අමතරව සෞඛ්‍ය ඇමැතිවරයා, ආරක්ෂක ඇමැතිවරයා මෙන්ම වැඩබලන අධිකරණ ඇමැතිවරයාද ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත. ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියා කලාපය ව්‍යවස්ථා විරෝධීව බලය උදුරා ගැනීමක් ලෙසට දැන් චෝදනා එල්ල වෙමින් තිබේ.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා විශේෂඥයකු ලෙස සැලකෙන 63 හැවිරිදි ජනාධිපති කයිස් සයිඩ් ටියුනිස් විශ්වවිද්‍යාලයේ නීතිය ඉගැන්වූ ආචාර්යවරයකු වූ අතර ඔහු 2019 මැතිවරණයෙන් ජනාධිපතිවරයා ලෙස තේරීපත් විය. ජනපති කයිස් සයිඩ් මැතිවරණයෙන් වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ දරුණු ලෙස බෙදී ගිය පාර්ලිමේන්තුවක් සමග රාජ්‍ය පාලනය සිදු කරනු ලැබූ බව පැවසේ. අගමැතිවරයා සහ පාර්ලිමේන්තු කථානායකවරයා යන දෙන්නාම ඔහුට විරුද්ධ පාර්ශ්වයේ බවත් එම නිසා නිරන්තරයෙන් මතගැටුම් ඇතිවූ බවත් පැවසේ.

පසුගිය ඉරිදා ධූරයෙන් නෙරපා හැරීමෙන් පසුව අගමැති හිචෙම් මෙචිචි කියා සිටියේ තමා සහ ඇමැතිවරුන් කිහිප දෙනකු නෙරපා හරින බව සයිඩ් මහතා නිවේදනය කිරීමෙන් පසුවද කැබිනට් රැස්වීමක් පැවැත්වූ බවයි. එසේම හමුදාව විසින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල සහ එම භූමිය වටකර තිබියදී පවා මන්ත්‍රීවරුන් මුණගැසෙන බවද පවසා තිබේ.

ජනපතිවරයාගේ තීන්දුව ව්‍යවස්ථාවට පටහැණි බව දක්වමින් උද්ඝෝෂණ රට පුරා පැනනැගි අතර ජනපතිවරයාද සිය තීන්දුවට පක්ෂපාතී සිය හිතවාදීන්ද විථිවලට කැඳවා තිබිණි. ජනාධිපති කයිස් සයිඩ් මේ වන විට දින 30ක කාලයක් සඳහා පාර්ලිමේන්තු රුස්වීම්ද අවලංගු කර ඇති අතර රට පුරා ඇඳිරිනීතිය පනවා හමුදාව කැඳවීමට කටයුතු කර ඇත.

2011ට පෙර දශක දෙකකට වැඩි කාලයක් ඒකාධිපති පාලනයෙන් බැට කෑ ටියුනීසියානුවන්  එම  වසරේ ජනවාරි මාසයේදී ආඥාදායකයා වූ සයින් එල්-අබිදීන් බෙන් අලිගේ පාලනය පෙරළා දැමීමට කටයුතු කරනු ලැබූ අතර ඊට නිසි නායකත්වයක් දීමට දේශපාලන ව්‍යාපාරයක් නොමැතිවීම හේතුවෙන් එම අරගලයේ නිමාව දේශපාලන අර්බුද සහිත රාජ්‍යයක් බවට ටියුනීසියාව පත් කරනු ලැබීය. එතැන් සිට වැඩි නිදහසක් සහ යහපත් ජීවිතයක් බලාපොරොත්තු වූ ටියුනීසියානුවන්ට උරුම වූයේ අරාජික රාජ්‍යයකි. ජනාධිපති සයිඩ්ගේ මෙම හදිසි ක්‍රියාන්විතයත් සමඟ නැවත වතාවක් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක සිහිනය දකිමින් සිටි ටියුනීසියානුවන්ගේ බලාපොරොත්තුව බොඳවීමේ පෙරනිමිති දැල් වී තිබේ.