
2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ආරම්භයට පැය 22ක පමණ කාලයක් ඉතිරිව තිබියදී එහි සමාරම්භක උත්සවයේ නිර්මාණ අධ්‍යක්‍ෂවරයා වන කෙන්ටාරෝ කොබයාෂි එම තනතුරෙන් ඉවත්කර ඔලිම්පික් ගම්මානයෙන් නෙරපා තිබිණි. දෙවැනි ලෝක සංග්‍රාමයේදී ජපානය, ජර්මනිය ඇතුළු රටවල් කිහිපයක සිදු වූ අති විශාල මනුෂ්‍ය ඝාතන අවඥා සහගත ලෙස හෙළා දකිමින් කෙන්ටාරෝ වීඩියෝ දර්ශන මගින් කළ විහිළු ප්‍රකාශ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වීමත් සමග ඔලිම්පික් සංවිධායකයෝ අවසන් මොහොතේ වුවද මෙම දැඩි තීරණයට ඊයේ එළැඹියහ.
1939 සැප්තැම්බර් 1දා ඇඩොල්ෆ් හිට්ලර්ගේ පෝලන්ත ආක්‍රමණයත් සමග ආරම්භ වූ දෙවැනි ලෝක මහා සංග්‍රාමයට බ්‍රිතාන්‍යය හා ප්‍රංසයද යුද ප්‍රකාශ කළහ. ජර්මනිය, ඉතාලිය හා ජපානය මුලදී සංග්‍රාමයට එකතු නොවූ නමුත්, පසුව එම රටවල්ද එයට එක් වූහ. ජපානය චීන මුහුදේ හා ඉන්දීය සාගරයේ යාත්‍රා කළ යුද නැව් කීපයකට බෝම්බ හෙළා විනාශ කොට ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලයට හා කොළඹ වරායටද බෝම්බ හෙළීය.


මෙහිදී ඇතිවූ ඇතැම් සමූල ඝාතන සිද්ධීන් පිළිබඳ ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ සමාරම්භක උත්සවයේ නිර්මාණ අධ්‍යක්ෂක කොබයාෂි කෙන්ටාරා වසර 1990දී උපහාසාත්මකව කළ ප්‍රකාශවල වීඩීයෝ පට මෙයට දින කිහිපයකට පෙර සිට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ජනතාව අතරට පැමිණෙන්නට පටන් ගෙන තිබිණි. ඊයේ දිනයේ එහි උච්චතම අවස්ථාවට එළැඹීමත් සමග ජපන් ජාතික කොබයාෂි කෙන්ටාරා සමස්ත ජාතියෙන්ම සමාව ගත්තද එයින් ඔලිම්පික් සංවිධායකයෝ සෑහීමකට පත් නොවුණහ.
මෙවර ඔලිම්පික් උළෙල සමරන්නේ කොරෝනා ව්‍යාප්ති අවදානමක් මධ්‍යයේය. කොරෝනා අවදානම හේතුවෙන් 2020 වසරේදී පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් උළෙල මේ දක්වා කල් දැමුණි. අනතුරුව මෙම වසරේ ගතවූ කාලසීමාව තුළදී ඔලිම්පික් උළෙලට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකු සිය තනතුරුවලින් ඉවත් වී තිබේ.

ඒ අතරම ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සම්බන්ධ පුද්ගලයින් 79 දෙනෙකුට පමණ මේ වනවිටත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරැ වී තිබේ. ඒ අනුව ඔලිම්පික් උළෙල මෙවරද පැවැත්වීම සම්බන්ධයෙන් දැඩි අවදානම් තත්ත්වයක් මතුව ඇති බව ජාත්‍යන්තර විචාරකයින් පෙන්වා දෙති.
එලෙස කොරෝනා ආසාදිත පුද්ගලයින් අතරට මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන් මෙන්ම ස්වේච්ඡා සේවකයින් සහ ඔලිම්පික් කමිටුවේ කාර්යය මණ්ඩල සාමාජිකයින්ද අයත් වෙති.

කෙසේවෙතත්, 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවයේ අධ්‍යක්‍ෂවරයා ඉවත් කිරීමෙන් පසුව උත්සවය සිදුකරන ආකාරය සම්බන්ධයෙන් සංවිධායකයින් යළිත් සමාලෝචනය කරමින් සිටිති. මෙවර සමාරම්භක උත්සවය නැරඹීම සඳහා ක්‍රීඩාංගනයට ඇතුළුවීමට අවස්ථාව උදාවී ඇත්තේද 950 දෙනෙකුට පමණය.