2021 ජුලි 17 වන සෙනසුරාදා

හඳට ගියදා ජෙෆ් බෙසොස් උඩුගුවනට!

 2021 ජුලි 17 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 159

ඇමසොන් නිර්මාතෘ ජෙෆ් බෙසොස් ජූලි 20දා සිය බ්ලු ඔරිජින් (Blue Origin) අභ්‍යවකාශ සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබන මගීන් රැගත් පළමු අභ්‍යවකාශ ගමනට තම සහෝදරයා සමග එක්වන්නට නියමිතය. බ්ලු ඔරිජින් සමාගම දියත්කරන අභ්‍යවකාශ යානය (නිව් ෂෙපර්ඩ්) නමින් හැඳින්වේ. මෙම යානයට (නිව් ෂෙපර්ඩ්) යන නම තැබුණේ අභ්‍යවකාශයට ගිය දෙවැනි පුද්ගලයා මෙන්ම පළමු ඇමෙරිකානුවා වූ ඇලන් ෂෙපර්ඩ් සිහිවීම සඳහාය. ‍‍ පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර 100 (සැතපුම් 62) ට වැඩි ඉහළකට ගෙන ගොස් මගීන්ට ක්ෂුද්‍ර ගුරැත්වය අත්දැකීමේ ඉඩකඩ මෙම ගමනින් සලසා දෙයි.

ජෙෆ් බෙසොස් ලොව ධනවත්ම පුද්ගලයින් අතරින් කෙනෙකි. ෆෝර්බ්ස් සඟරාවට අනුව ඩොලර් බිලියන 186.2ක ශුද්ධ වත්කමක් ඔහු සතුය. බ්ලු ඔරිජින් සමාගම මිනිසුන් සහිත පළමු අභ්‍යවකාශ ගමන දියත් කෙරෙන්නේ ජෙෆ් බෙසොස් සැලසුම් කර ඇති පරිදි ඔහු ඇමසන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් ඉවත්වී සති දෙකකින් අනතුරුවය. වසර තිහකට පෙර තම නිවසේ ගරාජය තුළ ආරම්භ කළ ඇමසන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරින් ඉවත්වන ඔහු එහි විධායක සභාපතිවරයා ලෙස සේවය කිරීමට අපේක්ෂා කරයි.

මේ අතර බ්‍රිතාන්‍ය ජාතික 70 හැවිරිදි කෝටිපති ව්‍යාපාරික ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන්ගේ පසුගිය ජූලි 11 සිදු වූ සාර්ථක අභ්‍යවකාශ ගමනින් පසු එම අත්දැකීම විඳ ගැනීමට තවත් කෝටිපති ව්‍යාපාරිකයෝ 600කට අධික පිරිසක් මුදල් ගෙවා ලියාපදිංචි වී ඇත.

මේ කෝටිපති ව්‍යාපාරිකයා පසුගිය ජූලි 11 සැතපුම් 55ක් දුරට උඩුගුවන තරණය කළේ අමෙරිකාවේ පිහිටි ඔහුට අයත් වර්ජින් ගැලැක්ටික් සමාගමේ නිෂ්පාදිත සුපර්සොනික් ගගන යානයකිනි. පළමුවරට ලෝක අභ්‍යවකාශ ක්ෂේත්‍රය වානිජකරණයට ලක් කරමින් ඊට නව පිටුවක් එක් කළ මේ ඓතිහාසික ගමනට මිනිත්තු 50ක් වැය වී තිබිණි.

 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:05