2021 ජුලි 10 වන සෙනසුරාදා

ඇෆ්ඝනය තලිබාන් අතේ!

 2021 ජුලි 10 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 115

ඇෆ්නිස්ථානයේ  වසර 20ක් පමණ රැඳී සිටි නේටෝ හමුදා මේ වනවිට එරටින් ඉවත් වීමත් සමග තලිබාන් සටන්කරුවෝ එරට ගම්දනව් සිය ග්‍රහණයට ගනිමින් සිටිති. එක්සත් ජනපදය හා නේටෝ හමුදා තලේබාන් සටන්කාමීන්ට එරෙහි යුද්ධයේ කේන්ද්‍රස්ථානය ලෙස භාවිත කළ ඇෆ්ගනිස්ථානයේ බග්‍රාම් (Bagram) ගුවන් හමුදා කඳවුරෙන්ද ඉවත්ව ගියේය. ඒ සමගාමිව ඇෆ්ඝනිස්තානයේ එක් ප්‍රධාන නගරයක් වන බද්ඝිස් ප්‍රාන්තයේ අග නගරය ලෙස සැලකෙන ක්වාලා-ඒ-නව් නගරයේ බලය අල්ලා ගැනීමට තලිබාන් සටන්කරුවන් සමත් වී තිබේ.

සටන්කරුවන් ඇෆ්ඝන් හමුදා සමග දරුණු සටනක යෙදෙන බවත් ඔවුන්ගේ අරමුණ නගර මධ්‍යයට පැමිණීම බවත් සඳහන් වේ. ක්වාලා-ඒ-නව් නගරයේ පිහිටි බන්ධනාගාරයක සිටි රුඳවියන් 400ක් පමණ නිදහස් කිරීමටද තලිබාන් සටන්කරුවන් ක්‍රියාකර තිබුණි. එහි සිටි ඔවුන්ගේ සාමාජිකයින් 100ක් පමණද ඔවුන් මුදාගෙන තිබේ. එම බන්ධනාගාරයේ ආරක්ෂාවට සිටි ඇෆ්ඝන් හමුදා භටයින් සටනකින් තොරවම යටත්වී ඇති බව වාර්තා වේ. නගරයේ සිටි රජයේ සේවකයින් සියලු දෙනා මේ වනවිට ආසන්න හමුදා කඳවුරට ගොස් තිබේ.

ඇෆ්ඝනිස්තානයේ රඳවා සිටින අමෙරිකාව ප්‍රමුඛ විදෙස් හමුදා සැප්තැම්බර් 11 වැනිදා වනවිට එරටින් ඉවත්වීමට නියමිතය. සැප්තැම්බර් 11 යනු 2001/09/11 වන දින ඇමරිකාවට එල්ල වූ මරාගෙන මැරෙන ප‍්‍රහාරයේ 20 වැනි සංවත්සරය යෙදෙන දිනය වන අතර එදා 9/11 ප්‍රහාරයෙන් 3,000 කට ආසන්න පිරිසක් මියගියහ. විදෙස් හමුදා ඉවත්වූ පසු එරට ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම ඇෆ්ඝන් හමුදාව මත පැවරෙයි.

නමුත් ඔවුන්ගේ හැකියාව පිළිබඳව ඇත්තේ සැකයකි. එබැවින් තලිබාන් සටන්කාමීන් පහසුවෙන් ඇෆ්ඝනිස්ථානයේ බලය අල්ලාගනු ඇතැයි ආරක්ෂක විශේෂඥයෝ පවසති.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00