
පසුගිය සතිය තුළ ගුවන් අනතුරු දෙකක්ම එක ළඟ වාර්තා විය. එකක් රුසියාවෙනි. අනෙක පිලිපීනයෙනි. මේ යානා දෙකම ගොඩබෑමට යාමේදී සිදුවූ අනතුරු වූ අතර එයින් මිනිස් ජීවිත 78කට වැඩි සංඛ්‍යාවක් අහිමිව ගියේය.
පිලිපීන ගුවන් හමුදාවට අයත් සී-130 වර්ගයේ ගුවන් යානයක් දකුණු පිලිපීනයේදී කඩා වැටීම නිසා පුද්ගලයන් 50ක් ජීවිතක්ෂයට පත් වී තිබුණි. මියගිය පිරිස අතර සිවිල් පුද්ගලයන් තිදෙනකුද සිටි බව වාර්තා විය. තුවාල ලබා සිටි තවත් 49 දෙනකු රෝහල්ගත කර ඇති අතර, තවත් පුද්ගලයන් කිහිපදෙනකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ. එරට හමුදාවට අයත් ගුවන් යානයක් මෙවැනි ඛේදවාචකයකට ලක් වී ඇත්තේ දශක ගණනාවකට පසුය.


පිලිපීන ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානී ජෙනරාල් සිරිලිටෝ සොබේජනා පැවසුවේ යානය ගොඩබෑමට උත්සාහ කරන අතරතුර ගුවන් ධාවන පථය මග හැරී මෙලෙස අනතුරට ලක්ව ඇති බවය. අනතුර සිදුවන විට එම ගුවන් යානයේ සෙබළුන් 96 දෙනකු ගමන් කර ඇත.
මීට පෙර අවසන් වරට පිලිපීනයේ හමුදා ගුවන් යානයක් කඩා වැටී ඇත්තේ 1993 වසරේදීය. පිලිපීන ගුවන් හමුදාවට අයත් එම ගුවන් යානයද සී-130 වර්ගයේ ගුවන් යානයක් වන අතර, එම අනතුරින් පුද්ගලයන් 30 දෙනකුට ජීවිත අහිමි විය.
මේ අතර නැගෙනහිර රුසියාවේදී මගී ගුවන් යානයක් අනතුරට ලක්වූ අතර එහි සිටි සියලු පුද්ගලයින්ද මියගොස් ඇති බවට සැක කෙරෙයි. කාර්ය මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකු සහ මගීන් 22ක් රැගත් අදාළ යානය ගොඩබැස්වීමට නියමිතව තිබූ අවස්ථාවේදී ගුවන්තොටුපළ සමඟ තිබූ සබඳතා බිඳවැටී තිබුණි. රුසියානු බලධාරීන් පවසන්නේ ගුවන්යානය ගොඩබැස්වීමට යාමේදී සිදුවූ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එය පර්වතයක ගැටී කඩාවැටීමට ලක්ව ඇති බවය. එම ගුවන්යානය පෙට්රෝපැව්ලොව්ස්ක් නම් ප්‍රදේශයෙන් පලානා නම් ගුවන්තොටුපළ දක්වා ගමන් අරඹා තිබුණි. එය ගොඩබෑමට විනාඩි 10ක් පමණ තිබියදී මෙම අනතුරට ලක්වී ඇති බව සඳහන් වේ.