2021 ජුලි 10 වන සෙනසුරාදා

සුපිරි බොලිවුඩ් නළු දිලිප් කුමාර් සමුගනියි!

 2021 ජුලි 10 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 72

සුපිරි බොලිවුඩ් නළු දිලිප් කුමාර් මුම්බායි නගරයේ පිහිටි හින්දුජා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභවප්‍රාප්ත වීය. මියයන විට ඔහු 98 වැනි වියේ පසුවිය. පසුගිය ජූනි 6 වැනි දින පළමුවරට ශ්වසන ආබාධයක් හේතුවෙන් ඔහු රෝහල්ගත කෙරුණු අතර දින කිහිපයකට පසු සුවය ලබා රෝහලෙන් පිටව ගියද ඔහු යළි පසුගිය බදාදා රෝහල්ගත කෙරුණි. වකුගඩු රෝගයක් හේතුවෙන් පසුගිය වසර කිහිපය පුරාම විටින් විට දිලිප් කුමාර් රෝහල්ගතව සිට තිබුණි.

1922 වසරේ දෙසැම්බර් 11 වැනි දින වර්තමාන පාකිස්තානයට අයත් පේශවර්හි පළතුරු වෙළෙන්දෙකු වූ මොහමඩ් සර්වර් ඛාන්ගේ දරුවන් දහතුන් දෙනාගෙන් පස්වැන්නා ලෙස උපත ලද යුසුෆ් ඛාන් ඉන්දු ඉරාන සම්භවයක් ඇති පඨාන් ජනවර්ගයාට අයත් වූවෙකි. ඔහු සිනමාවට පිවිසෙනුයේ දිලිප් කුමාර් යන නමින්ය. 1944 වසරේ “ජ්වාර් භාතා” චිත්‍රපට‌යෙන් සිනමාවට පිවිසෙන හෙතෙම වැඩි කල් නොයවාම ඉන්දියානු සිනමාවේ ජනප්‍රියත්වයෙන් මෙන්ම කුසලතාවෙන්ද අන් සියලු රංගවේදීන් අභිබවා ගියේය. ඔහු වාණිජමය වශයෙන් සාර්ථක වූ චිත්‍රපට ගණනාවක 1940, 1950, 1960 හා 1980 දශකවල රගපෑවේය. ජුග්නු, මේලා, අන්දාස්, දිදාර්, බාබුල්, තරානා, ආන්, දාග්, ඉන්සානියත්, අසාද්, අමර්, මධුමතී, දේව්දාස්, නයාදෝර්, මධුමතී, යහුදී, කොහිනූර්, මෝගල් ඊ අසාම්, ගංගා ජම්නා, ක්‍රාන්ති, ශක්ති වැනි චිත්‍රපට රාශියක දිලිප් චරිත නිරෑපණය කළේය.

ඔහු ෆිල්ම් ෆෙයාර් උළෙලකදී, හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත් ප්‍රථම නළුවා බවට පත්වූයේ 1953 වසරේදී දාග් චිත්‍රපටය උදෙසාය. දිලිප් ඉන්පසු 8 වතාවක්ම එම සම්මානය දිනා ගත්තේය. එලෙස ඔහු, ෆිල්ම්ෆෙයාර් ඉතිහාසයේ වැඩිම වතාවක් හොඳම නළුවා ලෙස සම්මාන ලැබූ රංගන ශිල්පියා ලෙස වාර්තාවක් තබා ඇත. 1992 වසරේ ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේදී පුද්ගලයෙකුට ජීවිතයේ එක්වරක් පමණක් ලැබෙන Filmfare Lifetime Achievement Award නම් සම්මානය ලබන්නට තරම් වාසනාවන්ත විය.

දිලිප් කුමාර්ගේ අවසාන සාර්ථක රංගනය ඇතුළත් වූයේ සෞදාගර් (1991) චිත්‍රපටයේයි. 1996 වසරේ ඔහු අධ්‍යක්ෂණයට අත ගසන්නට උත්සාහ කළත්, එය සාර්ථක වූයේ නැත. 1998 වසරේ (කුයිලා) චිත්‍රපටයේ පෙනී සිටිමින් ඔහු රංගනයට ආයුබෝවන් කී අතර මේ වනවිට ඔහු 76 වන වියෙහි පසුවිය.

දිලිප් කුමාර් විවාහ වනවිට 44 වියැති වූ අතර, ඔහු අත ගත්තේ තවත් බොලිවුඩ් තාරැකාවක් වන සහිරා භානුයි. කෙසේ නමුත් මේ විවාහය යම් යම් බිඳවැටීම්වලින් යුක්ත එකක් විය. පසුව දිලිප් 1980දී අස්මා නම් තවත් කාන්තාවක් විවාහ කරගත් නමුත් ඉක්මනින්ම ඇය දික්කසාද කර දැමුවේය. ඉන් අනතුරුව දිලිප් හා සහිරා යුවල සාර්ථක විවාහ ජීවිතයක් ගත කළෝය. දිලිප් කුමාර් කලක් ඉන්දීය පාර්ලිමේන්තුවේද නිලයක් දැරීය.

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00