2021 ජුලි 03 වන සෙනසුරාදා

බටහිර අධිකාරියට චීනයෙන් තරවටුවක්!

 2021 ජුලි 03 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 118

චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වැනි සංවත්සරය ඉකුත් 01දා පැවැත්වුණේ බෙයිජිංහි තියාන්මෙන් චතුරශ්‍රයේදීය. ගෝලීය වශයෙන් චීනය අද්විතීය තත්ත්වයකට ගොඩනැඟීම සඳහා කොමියුනිස්ට් පක්ෂය ඉටුකළ කාර්යභාරය පැහැදිලි කළ චීන නායකයා එම පක්ෂය කිසිදිනක ජනතාවගෙන් වෙන් නොවන බවද ප්‍රකාශ කළේය. විදේශ බලවතුන් රටට හිරිහැර කිරීමට හෝ බලපෑම් කිරීමට උත්සාහ කළහොත් හෝ පීඩාවන් හිරිහැර හෝ වහල්භාවය සිය රට වෙත මුදා හරින්නට උත්සාහයක් දරුවොත් ඔවුන්ට බිලියන 1.4ක් වූ චීන ජනයාගේ යකඩ මහා ප්‍රාකාරය ඉදිරියේ හිස් කුඩු කරගන්නට සහ ලේ වගුරවන්න සිදුවනු ඇතැයි එහිදී චීනයේ ජනාධිපති ෂී ජින් පිං බරපතළ අනතුරු ඇඟවීමක් කර තිබුණි.

චීන ජනාධිපතිවරයා එම අනතුරු ඇඟවීම කළේ හොංකොං මහජන විරෝධතා මැඩලීමේදී චීනය මානව අයිතීන් උල්ලංඝනය කර ඇති බවට සෙසු ලෝකයා වෙතින් විවේචනවලට මුහුණ දෙමින් සිටියදීය.

වෙළෙඳාම හා කොරෝනා වසංගතය මුල් කරගනිමින් චීනය හා අමෙරිකාව අතර සබඳතා මෑතකදී නරක අතට හැරී තිබේ. අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් හොංකොංහි සිදුකළ මර්දන සම්බන්ධයෙන් චීනයට මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධ බරපතළ චෝදනා එල්ල කරමින් සිටී.

වෙළඳාම, ඔත්තු බැලීම සහ වසංගතය සම්බන්ධයෙන් අමෙරිකාව හා චීනය අතර සබඳතා මෑත කාලයේදී නරක අතට හැරී තිබේ. තායිවානයේ ප්‍රශ්නයද එම ආතතියේ ප්‍රධාන ප්‍රභවයකි. ප්‍රජාතන්ත්‍රවාදී තායිවානය ස්වෛරී රාජ්‍යයක් ලෙස බටහිර රටවල් විසින් සලකන අතර බීජිනය කියන්නේ තායිවානය චීනයෙන් කැඩී ගිය පළාතක් බවයි. චීනය තායිවානය සමඟ එක්සත් වීම සඳහා නොසැලෙන කැපවීමක් පවත්වාගෙන යන බවද චීන ජනපතිවරයා මෙහිදී අවධාරණය කළේය. චීනය හා තායිවානය යනු එකක් බව ඒත්තු ගැන්වීම සඳහා නොසැලී කැපවෙන බව අවධාරණය කළ චීන ජනාධිපතිවරයා තායිවානය නිදහස් කර ගැනීම සඳහා විදෙස් බලවතුන් දරන ප්‍රයත්නයද පරාජයට පත්කරන බව කියා සිටියේය.

බීජිංහි තියාන්මෙන් චතුරශ්‍රයට කොමියුනිස්ට් පක්ෂයේ නායකයින් පිරිසක් පැමිණ සිටි අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මුඛ ආවරණ පැළඳ සිටියේ නැත. 100 වැනි සංවත්සර සැමරුමට හමුදා ජෙට් යානා සංදර්ශන, කාලතුවක්කු ආචාර සහ දේශප්‍රේමී ගීත වාදන ඇතුළත් විය.