2021 මැයි 29 වන සෙනසුරාදා

මැලේසියාවේ විශාලතම මෙට්‍රෝ අනතුර !

 2021 මැයි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 144

මැලේසියාවේ මෙට්‍රෝ දුම්රිය පද්ධතියේ 23 වසරක සේවා කාලයේදී සිදුවූ විශාලතම අනතුර පසුගියදා සිදුවූයේ දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටීමෙනි.‍ ක්වාලාලම්පූර් අගනුවර පෙට්‍රොනාස් ටවර්ස් අසල උමඟක් තුළ සිදුවූ මේ දුම්රිය අනතුරින් 200 කට වැඩි මගීන් පිරිසක් තුවාල ලබා තිබේ. මෙට්‍රො සැහැල්ලු දුම්රිය දෙකක් එකිනෙක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ එක් මෙට්‍රො දුම්රියක මගීන් 213 දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර අනෙක් දුම්රිය මගීන් රහිතව ධාවනය වූ හිස් දුම්රියකි. අනතුරින් මගීන් 213 දෙනාම තුවාල ලබා ඇති අතර ඉන් 47 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවට   වාර්තා විය. නඩත්තු කටයුත්තකින් පසු හිස් දුම්රිය, මගීන් රැගත් දුම්රිය ධාවනය වූ මාර්ගයේම ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණ උමං මාර්ගයක් තුළදී එලෙස අනතුරට ලක්ව තිබේ.

දුම්රිය පාලක මැදිරියෙන් සිදු වූ වැරදි සන්නිවේදනයක් නිසා මෙම අනතුර සිදු වන්නට ඇති බවට සැක පළකරන අතර මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකය. මේ අතර මැලේසියානු අග්‍රාමාත්‍ය මුහයිඩින් යසින්ද එරට ප්‍රවාහන අමාත්‍යවරයාට අනතුර සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස නියෝග කර ඇත.