2021 මැයි 29 වන සෙනසුරාදා

කොවිඩ් නීතියේ කනින් රිංගූ අහස් මඟුල

 2021 මැයි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 306

කොවිඩ් ව්‍යාප්තිය පාලනයට පනවා ඇති සීමා කිරීම්වලින් මීදී අහසේ මඟුල් කෑ අපූරු යුවළක් ගැන ඉන්දියාවෙන් වාර්තා වේ. තමිල්නාඩු උඩු ගුවනේ පැවති මෙම විවාහ මංගල්‍යයේ දර්ශන සමාජ මාධ්‍යයේ සංසරණය වී වීමත් සමඟ එය බොහෝ දෙනාගේ අවධානයට ලක් වන්නට විය.

මනාල යුවළ කොවිඩ් ව්‍යාප්තිය පාලනයට පනවා ඇති සීමා මායීම්වලින් මිදීම සඳහා ජෙට් යානායක් කුලී පදනම මත මිලදී ගෙන සිය නෑදෑ හිතවතුන්ද රැස් කරවා ගෙන විවාහ මංගල්‍යය සමරණ ආකාරය එම දර්ශනවල දැකගත හැකිය.
තමිල්නාඩුවේ මේ වනවිට පනවා ඇති කොවිඩ් නීතිවලට අනුව විවාහ මංගල්‍යක් සඳහා සහභාගී විය හැක්කේ 50 දෙනෙකු පමණක් වුවද මෙම උත්සවය සඳහා 150කට අධික පිරිසක් සහභාගී වී සිට ඇත. තවද අදාළ දර්ශනවලට සහභාගී වී සිටින පිරිස් මුව ආවරණ පැළඳීමක්, දුරස්ථභාවය පවත්වා ගැනීමක් වැනි කොරෝනා ආසාදනයෙන් වැළකීමට අවශ්‍ය කිසිදු සම්මතයන් කිසිවක් අනුගමනය කර ඇති බවක් පෙනෙන්නට නොමැත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය ගුවන් සේවා අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර ඇති අතර අදාළ ජෙට් යානය අයත් ගුවන් සමාගමේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ, විවාහ මංගල්‍යකින් පසු මදුරෙයි සිට බැංගලෝරය දක්වා ගමන් කිරීමට යැයි පවසා අදාළ සේවාදායකයා මෙම බෝයින් 737 යානය වෙන්කරවා ගෙන ඇති බවයි.

එම ප්‍රකාශකයා වැඩිදුරටත් පවසා ඇත්තේ, සිය සේවාදායකයාට පැහැදිලිවම කොවිඩ් මාර්ගෝපදේශ පිළිබඳ දැනුවත් කළ බවත් යානය තුළ කිසිදු ක්‍රියාකාරකමක් සිදු කිරීමට අවසර නොමැති බව පැහැදිලිව පවසා තිබූ බවත්ය.
මේ වනවිට කොවිඩ් දෙවැනි රැල්ල හේතුවෙන් ඉන්දියාව දැඩි අර්බූදයකට ලක්ව සිටින අතර එරෙට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 27,367,935+ ඉක්මවා ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව 315,263+ ඉක්මවා ගොස් අවසන්ය. මසකට අධික කාලයක් තිස්සේ, රටේ රෝහල් රෝගීන්ගෙන් පිරී ගොස් ඇති අතර ඔක්සිජන් සහ සෞඛ්‍ය පහසුකම් හිඟවීම හේතුවෙන් අහිමිවන මිනිස් ජීවිත ආදාහනය කිරීමට ආදාහනාගාරයක් සොයා ගැනීම පවා අපහසු තරමට ඉන්දියාවේ තත්ත්වය දරණුය. මේ ආත්මාර්ථකාමී අහස් මඟුල සිදුවූයේ එවන් වටපිටාවකය.