2021 මැයි 08 වන සෙනසුරාදා

මාලේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂිඩ්ට පිපුරුමකින් හානි!

 2021 මැයි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 85

මාලදිවයිනේ හතරවැනි ජනාධිපති ලෙස කටයුතු කළ මොහොමඩ් නෂීඩ්, මාලේ නගරයේ සිය නිවස අසල සිදුවූ පිපිරීමකින් තුවාල ලබා ඇත. ඔහු දැන් එරට පාර්ලිමේන්තුවේ කථානායකවරයාය.‍ තුවාල ලැබූ මොහොමඩ් නෂීඩ්, රෝහල්ගත කර තිබේ. ඔහුට බරපතල හානියක් සිදුව නැති බවද වාර්තා වේ.

සමාජ මාධ්‍ය තුළ දක්නට ඇති ඡායාරූපවල කැඩී බීඳී ගිය පාපැදියක් දක්නට ඇති අතර ඉන්දියානු අභ්‍යන්තර කටයුතු ඇමැතිවරයාගේ ට්විටර් ගිනුමේ මෙය නෂීඩ් ඝාතන උත්සාහයක් ලෙසද දක්වා තිබේ. කෙසේ වුවද ඒ බවක් එරට පොලීසිය තහවුරැ කර නැත. මේ පිළිබඳව ජාත්‍යන්තර සහායද ලබා ගනිමින් පොලීසිය පුළුල් පර්යේෂණ අරඹා හමාරය.‍

මාලදිවයින් රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත්වූ මුල්ම ජනාධිපතිවරයා වන නසීඩ් මේ වනවිට 53 හැවිරිදිය. මොහොමඩ් නෂීඩ්  සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක උපන්   අතර මාලේ නුවර මජීදියා ආගමික පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා ගත්තේය. ඔහුගේ සාමාන්‍ය පෙළ සහතිකය ලැබුණේ ලංකාවෙනි. කොළඹ ජාත්‍යන්තර ඕවර්සිස් පාසලෙනි. ඉන්පසු ඔහු එංගලන්තය බලා ගියේ ඩොන්ට්සෙයි සහ විල්ට්ෂයර් වෙතින් ද්විතියික අධ්‍යාපනය නිම කළේය. උසස් පෙළින් පසු ඔහුගේ සිත දිනාගත් විෂය වූයේ සමුද්‍ර විද්‍යාවයි. මුහුදින් වටවූ දූපත් ගොනුවක් වූ සිය රටේ අනාගතය පිළිබඳ සැබෑ දැක්මක්, ඔහුට තිබුණි. ලිවර්පූල්හි ජෝන් සරසවියෙන් 1989දී උපාධිය ලබා ඔහු සිය රටට පැමිණියේය. එතැන් සිට ඔහුගේ ජීවිතය රටේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වැඩිකාලයක් හිරේ විලංගුවේ ගත කරනා පෙරැළිකාර, සිද්ධීන්ගෙන් බහුල හැලහැප්පිලි සහිත එකක් වූයේය. මේ නිසාම ඔහුට මාලදිවයිනේ නෙල්සන් මැන්ඩෙලා යන නමද පටබැඳුණි.

1989දී සිට රට පැමිණිදා සිට ඔහු ජනාධිපති අබ්දුල් ගයුම් පාලනය යටතේ විසි වතාවක් සිරගත කරනු ලැබිණි. ඔහුගේ දියණියන් දෙදෙනා උපදින විටත් ඔහු සිරකරැවෙකි. 1989 මැතිවරණය පිළිබඳ විවේචනාත්මක ලිපි සැපයූවා යැයි මුල්වරට සිරගත කළ අවස්ථාවේ දින 12ක් මාංචු පිට එළිමහනේ රඳවා තැබූ ඔහුට වීදුරු කුඩු සහිත ආහාර බලෙන්ම කවා තිබුණි. 

1999දී ඔහු මාලේ නියෝජිතයා ලෙස පාර්ලිමේන්තුවට පත්වූවද ඔහුට එරෙහිව වංචා චෝදනා ගොනුකර ඉවත් කරන්නට යෙදුණි. මෙය ඔහු බලයෙන් ඉවත් කරන්නට යෙදූ දේශපාලන උප්පරවැට්ටියක් බව ලෝක දේශපාලන විචාරකයෝ පෙන්වා දී තිබුණි. 2003 සැප්තැම්බරයේදී ඔහු, සිරගතව සිටියදී අබිරහස් ලෙස මරණයට පත්වූ 19 හැවිරිදි හසාන් ඉවාන් නසීම්ගේ මරණය ගැන පරීක්‍ෂණයක් ඉල්ලා සිටියේය. මාෆුෂි සිරගෙදරදී සිදුවූ මේ මරණය වධදී මරා දැමීමක් බව වෛද්‍ය පරීක්‍ෂණවලින් තහවුරු වූයේය. මේ සිද්ධියත් සමඟ රජයට එරෙහි පළමු සිවිල් නැගිටීම ආරම්භ වූයේය. මාලදිවයින් රජය එරට ඉතිහාසයේ ප්‍රථම වරට හදිසි නීතිය පනවන්නට ක්‍රියාකළේය.

ඒ අවස්ථාවේ රටින් පිටුවහල් ජීවිතයට එළැඹුණු නෂීඩ් ඒ සමයේ ලංකාවේ සහ එංගලන්තයේ රුඳී මාධ්‍ය කටයුතුවල යෙදුණු අතර 2003 නොවැම්බරයේදී මොහොමඩ් ලතීෆ් හා එක්ව මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය පිහිටුවා ගත්තේය. 2005 දී ගයුම් රජය බහුපක්‍ෂ දේශපාලනයට ඉඩහසර සැලසීමත් සමඟ සියලු කරදර අනතුරු මැද සන්ධානගත විපක්‍ෂයක් ඔස්සේ වසර 30ක කාලයක් පැවැති ගයූම් අධිරාජ්‍යය බිඳ දමමින් රටේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පත්වූ ප්‍රථම ජනාධිපතිවරයා සහ රටේ හතරවැනි ජනාධිපතිවරයා ලෙස පත්වීමට නෂීඩ්ට හැකියාව ලැබුණේය. පසුව 2012 දි ඔහුට එරෙහිව ආ විරෝධය මැද ඉල්ලා අස්වූ නෂිඩ් ඊළඟ ඡන්දයේදී පරාජය වූ අතර 2018 ඡන්දයටද ඉදිරිපත් වීම වැළැක්විණි. නමුත් ඔහුගේ පක්ෂයේ ඉබ්‍රාහිම් සෝලි බලයට පත්වීමත් සමග ඔහුට 2019 දී කතානායක ධුරයට පත්වීමට හැකිවිය. පරිසරවේදියකු ලෙස ලොවපුරා නමක් දිනා ඇති නෂීඩ්, ලොව ප්‍රථම වතාවට මුහුද යට සිය කැබිනට් මණ්ඩලය රැස්කළ ජනාධිපති ලෙසද ප්‍රකට විය.

 

සංස්කරණය: 
සුගත් පී. කුලතුංගආරච්චි