
දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ මුළු ලෝකයේම ගගනගාමීන් හට වෙන්ව තිබූ උඩුගුවන් පර්යේෂණ මධ්‍යස්ථානය වූයේ අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයයි. විවිධ රට - රාජ්ජයනට අයත් ගගනගාමීන් 200කට අධික පිරිසක් කිසිදු බේදයකින් තොරව මේ ISS අභ්‍යවකාශ මධ්‍යස්ථානය භාවිත කළහ. එය මේ වනවිට මහ පොළොවට ඉහළින් නාවුක සැතපුම් 227ක දුරක් හීන්සීරුවේ රවුම් ගසා හමාරය.
නමුත් දැන් මහ පොළොව මත ඇති භු දේශපාලනික බෙදීම අභ්‍යවකාශයටද ආක්‍රමණය කරන ලකුණු පහළවී තිබේ. ඒ වනවිට ලෝකයේ ප්‍රබලම රතු සාමාජිකයා වන චීනය තමන්ගේම වූ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් උඩුගුවනේ වෙන්ව පිහිටුවීමට මුල් පියවර ගැනීමත් සමගිනි.
චීනය තමන්ගේම වූ දෙවිලොවට සාමය යන අරුත දෙන “ටියැන්හේ” නමැති අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මූලික මධ්‍ය කොටස පසුගියදා උඩුගුවනට යැවීය. චීනයේ දකුණු දිග පිහිටා ඇති හයිනාන් දූපතේ වෙන්චෑන්ග් අජටාකාශ තොටුපළෙන් එරට නිෂ්පාදිත අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මූලික කොටස සාර්ථකව උඩුගුවනට යවන ලදි. ඒ Long March-5B ප්‍රවාහන රොකට්ටුවක ආධාරයෙනි.
දැනට පවතින ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට වඩා පස් ගුණයකින් කුඩා වුවද මෙය චීනයේ මෙතෙක් සිදුකළ අභ්‍යවකාශ යානා නිපැයුම් අතර යෝධතම නිපැයුමකි. මේ මධ්‍ය මොඩ්‍යූලයේ දිග මීටර 16.6ක් පමණවන අතර උපරිම විශ්කම්භය 4.2කි. එහි ඇතුළත ඉඩකඩ ඝන මීටර 50කට ආසන්නය. මෙතැන් සිට කොටස් වශයෙන් අභ්‍යවකාශයට යැවෙන මේ මධ්‍යස්ථානයේ ඉතිරි අංගෝපාංග සවිකර මෙය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට 2022 අගදී පමණ හැකිවෙනු ඇත.

එතැන් සිට වසර 10ක් හෝ උපරිම ලෙස 15ක පමණ හෝ කාලයක් මෙය උඩුගුවනේ පර් යේෂණ සඳහා සහාය වන්නට නියමිතය. මේ මධ්‍යස්ථානය වෙත යන තිදෙනෙකුගෙන් සමන්විත මුල්ම ගගනගාමීන් පිරිස මෙම ජූනි මස පිටත්ව යාමට නියමිත අතර ඔවුහු උඩුගුවනේ මාස 03ක කාලයක් ගත කිරීමටද නියමිතය. මෙවැනි මිනිසුන් රුගෙන යන මෙහෙයුම් 4ක් සහ භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම් 4ක්ද ඇතුළුව මෙහෙයුම් 11ක් දැනට සැලසුම් කර හමාරය.
මෙතෙක් අභ්‍යවකාශ තරණ - තරගයේ මූලිකයා බවට පත්ව සිටියේ නාසා ආයතනයයි. චීනය සිය අභ්‍යවකාශ වැඩපිළිවෙළ ඇරඹූයේ නාසා වැඩ අරඹා වසර 40කට පමණ පසු 2003 දීය. නමුත් දැන් චීනය නාසා ඇතුළු බටහිර අභ්‍යවකාශ මෙහෙයුම් ජාලය අභිබවා ගොස් ප්‍රමුඛයා වියහැකි මට්ටමේ දස්කම් දක්වා හමාරය. ඉතා ඉක්මනින්ම මහ පොළොව මත ප්‍රබල රතු බලවේගය නියෝජනය කරන රුසියාවද අභ්‍යවකාශයේ තමන්ටම වෙන්වූ මධ්‍යස්ථානයක් පිහිටුවනු ඇත. බොහොවිට ජනාධිපති පුටින්ගේ අනුමැතිය ලදහොත් 2025 වනවිට රුසියානු මධ්‍යස්ථානයද උඩුගුවනේ සැරිසරන්නට නියමිතය.
සංස්කරණය:
සුගත් පී. කුලතුංගආරච්චි