2021 මැයි 01 වන සෙනසුරාදා

වසංගතය මැද්දේත් චීන ආර්ථිකය ගොඩ!

 2021 මැයි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 45

චීනයේ වූහාන් නගරයෙන් කොවිඩ්–19 වසංගතය පැතිරෙන්නේ යැයි 2019 වසරේ දෙසැම්බර් 31 දින ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිළ වශයෙන් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඇමරිකානු සහ බටහිර බලධාරීන් පමණක් නොව මාධ්‍ය විසින්ද චීනයට එරෙහිව දරුණු ප්‍රහාරයන් එල්ල ක‌ළහ. චීනයේද ඒ වනවිට කොවිඩ් -19 වසංගතය දැඩි ලෙස පැතිරෙමින් පැවතුණි.

නමුත් එම අර්බුදකාරී අවස්ථාවේ චීනය තම ජනතාව අතීතයේ සිට භාවිතා කරන ලද සෞඛ්‍ය පුරුදු අනුගමණය කිරීම මෙන්ම තම දේශයට ආවේනික දේශීය ඖෂධ වර්ගයන්ට වඩ වඩාත් නැඹුරු කරන තත්ත්වයක්ද විද්‍යාමාන විය. ඉන් නොනැවතුණු ඔවුන් කොවිඩ්-19 වෛරසය සඳහා සයිනොෆාර්ම් ඇතුළු තම දේශීය එන්නත් කිහිපයක්ම නිපදවා ගැනීමට පියවර ගත්තේය. එලෙස ඔවුන් තම ස්ථානෝචිත ප්‍රඥාවෙන්  වසංගතයට මුහුණ දුන් නිසාම දැන් ඒ රට සෙසු ලෝකයා මුහුණපානා ආර්ථික අවදානමෙන්ද මිදී හමාරය.

කොවිඩ් වසංගතය ඇරඹී වසර 1 1/2කට ආසන්න මේ කාලය වනවිට ලෝකයේ බොහෝ රටවල් බලවත් ආර්ථික අර්බුදයන්ට මුහුණ දෙමින් සිටිති. නමුත් චීනයේ බෙයිජින් නුවර විදේශ වෙළඳාම 2021 වසරේ පළමු කාර්තුව තුළ 2020 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 8.75කින් වර්ධනය වී ඇති බව වාර්තාවෙයි. එහි සම්පූර්ණ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 104.45කි.

නගරයේ ආනයනය පසුගිය කාර්තුවට සාපේක්ෂව 9කින් වර්ධනය වී ඇති අතර අපනයනය 7.2කින් ඉහළ ගොස් තිබේ. යපස් සහ තඹවලට අමතරව කෘෂිකාර්මික නිෂ්පාදන ආනයනය 86.1කින් ඉහළගොස් තිබීම විශේෂත්වයකි. ජංගම දුරකථන අපනයනය 92කින් වර්ධනය වී ඇති අතර අමතර කොටස් අපනයනයද දැඩිලෙස වර්ධනය වී ඇති බව වාර්තා වේ.

මේ අතර 2021 පළමු කාර්තුව තුළ චීනයේ දළ දේශීය නිෂ්පාදිතය 2020 පළමු කාර්තුවට සාපේක්ෂව 18.3ක වර්ධනයක් අත්පත් කරගෙන ඇතත් එය 2020 අවසාන කාර්තුවට සාපේක්ෂව 0.6ක පහළ යෑමක් පෙන්නුම් කර ඇති බවද වාර්තාවේ. චීනයේ ප්‍රධාන වෙළඳ හවුල්කරුවන් පස්දෙනා වන්නේ ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය, ආසියාන් සංවිධානය, ඕස්ට්‍රේලියාව සහ සෞදි අරාබියයි. මේ හවුල්කරුවන් පරදා ඉදිරියට ඒමට දැන් චීනයේ ක්‍රියාසූරත්වය නිසාම ඔවුන් සමත්ව තිබේ.