2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා

බටහිරට එරෙහිව පූටින් පරළවෙයි

 2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 180

මින් පෙර කිසිදිනක පසුතැවීමට නොවූ ආකාරයේ පසුතැවීමකට ලක්වීමට රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයට කටයුතු කරන ඕනෑම අයකුට සිදුවනු ඇති බව රුසියානු ජනාධිපති පුටින් සිය වාර්ෂික දේශනය පවත්වමින් අවධාරණය කර සිටියේය. එරට දේශපාලන අධිකාරියේ සහ පරිපාලන අධිකාරියේ නිලධාරීන් අමතමින් ඔහු එසේ කියා තිබුණේ අමෙරිකාව ඇතුළු බටහිර රටවල් වෙත නිකුත් කළ තදබල තරවටුවක් ලෙසටය.

මේ වන විට තම රට සමඟ සබඳතාවයන් බිඳවැටී ඇති රාජ්‍යයන් ද ඇතුළුව ලෝකයේ සියලු ජාතීන් සමඟ යහපත් සබඳතාවයන් ගොඩනගාගැනීම රුසියාවේ අභිප්‍රාය වුවද සමහර රටවල් කිසිදු සාධාරණ හේතුවකින් තොරව රුසියාව ඉලක්ක කර ගැනීම පිළිබඳව කනගාටු වන බව ඔහු සඳහන් කළේය.

මෙම යහපත් ආකල්පයන් රුසියාවේ උදාසීන බවක් ලෙස හෝ දුර්වලකමක් ලෙස දකිමින් රුසියාව බිඳහෙලීමට උත්සාහ දරන්නේ නම් ඔවුනට ලැබෙන ප්‍රතිචාරය ඉතා දරදඬු, වේගවත් මෙන්ම නොපිළිගත හැකි එකක් වනු ඇතැයි ඔහු අනතුරු ඇඟවීය.
රුසියාවට එරෙහි සතුරු සහ නොහික්මුණු ක්‍රියාවන් ඉදිරියේ රුසියාව මධ්‍යස්ථ ලෙස කටයුතු කළ ද රුසියාවේ මූලික ආරක්ෂණ අභිමතාර්ථයන්ට එරෙහි වන ප්‍රකෝප කිරීම් සංවිධානය කරන්නන්ට කිසිදා නොවිඳි පසුතැවීම්වලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඔහු ප්‍රකාශ කර සිටියේය. සමහර රටවල් රුසියාව ඉලක්ක කර ගැනීම තරගයට මෙන් කිරීමට පටන්ගෙන ඇති බවත් මෙය නව ක්‍රීඩා ඉසව්වක් ලෙස පෙනෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

පසුගිය සති කිහිපය තුළ අමෙරිකාව ඇතුළු බටහිර රටවල් රුසියාවට එරෙහි පිළිවෙතකට ගමන් කරන ආකාරයක් දැකගත හැකි වූ අතර චෙක් ජනරජය රුසියානුවන් 18 දෙනකු නෙරපා හැරීමට පිළිතුරු ලෙස චෙක් ජනරජයේ රාජ්‍යතාන්ත්‍රිකයන් 20 දෙනකු පිටුවහල් කිරීමට රුසියාව පියවර ගත්තේය.

බයිඩ්න් පාලනය රුසියාවට එරෙහි සම්බාධක පනවමින් විවිධ කෙනෙහිලිකම් කරමින් ගෙන ගිය වැඩපිළිවෙල නිසා දිගින් දිගටම දුර්වල වූ රුසියානු – අමෙරිකානු ද්විපාර්ශ්වීය සබඳතා තවදුරටත් පිරිහෙන බව පසුගිය වකවානුවේ පැහැදිලිව දිස්විය.
මේ වන විට රුසියාව තම අමෙරිකානු තානාපතිවරයා නැවත තම රටට කැඳවා ඇති අතර ඔහු නැවත අමෙරිකාවට යැවීම පිළිබඳ මොස්කව් පාලනය මෙතෙක් තීන්දුවක් ගෙන නොමැත.
මේ අතර පුටින් ජනාධිපතිවරයා තම විදේශ කටයුතු උපදේශකයකු වන යුරී උෂකොව් (1998 සිට 2008 දක්වා අමෙරිකාවේ සිටි රුසියානු තානාපති) හරහා රුසියාවේ අමෙරිකානු තානාපති ජෝන් සලිවන් හට නැවත අමෙරිකාවට ගොස් බයිඩ්න් පාලනය සමඟ දෙරට අතර ද්විපාර්ශ්වීය සබඳතා පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලෙස නිර්දේශ කර ඇති බව රුසියානු විදේශ ඇමැති සර්ජි ලැව්රොව් (Sergey Lavrov) කියා තිබුණි.

සලිවන් 2019 වසරේදී ට්‍රම්ප් පාලන සමයේදී රුසියාවේ අමෙරිකානු තානාපති ලෙස පත් කර ඇති අතර බයිඩ්න් පාලනය ඔහුට දන්වා ඇත්තේ තනතුරෙහි දිගටම කටයුතු කරන ලෙසයි.
ඔහු පිටුවහල් කළහොත් මිස අමෙරිකාවට යෑමට අදහසක් නොමැති බව මීට පෙර ප්‍රකාශ කර තිබූ බව වාර්තා වුවද මෙම නිර්දේශයෙන් පසු මෙම සතියේදී ඔහු අමෙරිකාව බලා යෑමට තීරණය කරමින් පවසා ඇත්තේ තමා අමෙරිකාවට ගොස් බයිඩ්න් පාලනය සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම වැදගත් වනවා මෙන්ම තම පවුලේ උදවියගෙන් අවුරුද්දකට අධික කාලයක් ඈත්ව සිටි තමාට ඔවුන්ව දැකගැනීමට අවස්ථාවක් ලැබීම ද වැදගත් වන බවයි.
බයිඩ්න් සහ පුටින් අතර යහපත් ඍජු සාකච්ඡාවකට පෙර තමා නැවතත් ඉක්මනින්ම රුසියාවට පැමිණෙන බවද සලිවන් ප්‍රකාශ කර තිබේ.

කෙසේ වුවද රුසියාවේ ආර්ථිකය ඉලක්ක කරමින් පනවන සම්බාධක සහ පුටින්ට සහ රුසියාවට එරෙහිව එල්ල කරන පදනම් විරහිත චෝදනාවලට එකට එක කිරීමක් ලෙස රුසියාව විසින් අමෙරිකානු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් 10 දෙනකු පිටුවහල් කිරීමටත් ඉහළ මට්ටමේ තවත් නිලධාරීන් කිහිප දෙනකුට රුසියාවට පැමිණීමේ තහංචි පැනවීමටත් පසුගිය සතියේදී පියවර ගෙන තිබුණි. මේ ලෙස රුසියාව සහ අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් අතර බෙදීම තව තවත් පුළුල් වන ලකුණු පහළ වී හමාරය.

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00